පරිසරය රකින පොල් කොළ බීම බට
A Sri Lankan entrepreneur introduces biodegradable drinking straws made from coconut leaves, providing a sustainable solution to single-use plastic pollution.
එම්. තාරික්
ශ්‍රී ලංකාව සහ ලෝකයේ නිවර්තන කලාපීය රටවල් පොල් වගාවෙන් පෝෂණය ලබන භූමි ප්‍රදේශ වේ. පොල් ගස අපේ රටේ කප්රුක ලෙස හඳුන්වන්නේ එහි සෑම කොටසක්ම මිනිස් ප්‍රයෝජනය සඳහා ගත හැකි බැවිනි. පොල් ගසෙන් ලැබෙන විවිධ අතුරු ඵල අතරින් පරිසරයට එක්වන පොල් කොළ භාවිත කරමින් අද වන විට නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් විවිධ නිෂ්පාදන බිහි වෙමින් පවතියි. ඒ අනුව නවීන ලෝකයේ දැවෙන ගැටලුවක් වන තනි භාවිත ප්ලාස්ටික් (Single-use plastic) භාවිතයට සාර්ථක විකල්පයක් ලෙස පොල් කොළ බීම බට නිෂ්පාදනය කිරීමට අනුරාධපුර, මිහින්තලේ ප්‍රදේශයේ ව්‍යවසායකයකු සමත් වී ඇත.
ඔහු නමින් චමින්ද කුමාර ය. චමින්ද කුමාර මහතා එක් කකුලක් අහිමි ආබාධ සහිත හිටපු යුද හමුදා සෙබළෙකි. චමින්ද කුමාර මහතාගේ මෙම උත්සාහය මෙය පරිසරය ආරක්ෂා කිරීමට පමණක් නොව, ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ද මහඟු අවස්ථාවක් බව සඳහන් කළ යුතුය.
“මම කුඩා කල සිටම නව නිපැයුම් සිදු කිරීමට හා ඒවා අත්හදා බැලීමට උනන්දුවක් දක්වපු කෙනෙක්. මම යුද හමුදාවේ රස්සාවට ගියත් මට මේ ගැන උනන්දුව තිබුණා. යුද හමුදාවේ සිටිය දී මගේ එක් කකුලක් අහිමි වුණා. ඉන් පසුව මගේ වෘත්තිය ලෙස මගේ දක්ෂතාවයෙන් විවිධ නිෂ්පාදනයන් කරන්නට පෙළඹුණා. ඒ අනුව මම 2016 දී ඉදල් හදන මැෂිමක් හදලා ජාතික මට්ටමින් පළමු ස්ථානය ලැබුවා. ඒ වෙනුවෙන් මට සම්මානයක් ලැබුණා. ඒ මැෂිමෙන් විනාඩි 2 යි තත්පර 40 ක කාලයක් තුළ ඉදලක් හදන්න පුළුවන්. මීට අමතරව බඩඉරිඟු ඇට ගලවන මැෂිමක් හදලා තිබෙනවා. බී ලූනු කොළ ගලවනයක් හැදුවා. ඒ වගේ තවත් නිපැයුම් කිහිපයක්ම හැදුවා.”
ප්ලාස්ටික් බීම බට (Plastic Straws) ලෝකයේ පරිසර දූෂණයට, විශේෂයෙන්ම සාගර දූෂණයට ප්‍රධාන හේතුවක් වී ඇත. ඒවා දිරාපත් වීමට වසර සිය ගණනක් ගතවන අතර, එම කාලය තුළ ක්ෂුද්‍ර ප්ලාස්ටික් (micro Plastics) බවට පත්වී ආහාර දාමයට එක්වීමෙන් සෞඛ්‍ය ගැටලු ද ඇති කරයි. රජයන් විසින් ප්ලාස්ටික් බීම බට තහනම් කිරීම හෝ භාවිතය සීමා කිරීම වැනි පියවර ගෙන ඇති වටපිටාවක, පොල් කොළ බීම බට ඉතා ඉක්මනින් දිරාපත් වන, සම්පූර්ණයෙන්ම ජෛව හායනයට ලක්වන (100% Biodegradable) සහ රසායනික ද්‍රව්‍යවලින් තොර (Chemical-free) ස්වාභාවික විකල්පයක් ලෙස ඉදිරියට පැමිණ ඇත. පොල් කොළ බීම බට සෑදීම පිළිබඳව චමින්ද කුමාර මහතා මෙසේ සඳහන් කළේය.
“කුරුණෑගල පොල් සංවර්ධන අධිකාරියේ සේවය කරන අනුරුද්ධ මහත්තයා තමයි මේ ගැන අදහස ඉදිරිපත් කළේ. ඒ වගේම මඟපෙන්වීම ලබා දුන්නා. ප්ලාස්ටික් බීම බට පරිසර දූෂණයට හේතුකාරකයක් වන නිසා ඊට විකල්පව පොල් කොළවලින් බීම බට හැදීමට මමත් උනන්දු වුණා. කොරෝනා වසංගතය සමයේ තමයි මම මේ වෙනුවෙන් මූලිකවම වැඩකටයුතු පටන් ගත්තේ. මම මගේ සැලැස්මකට අනුව මැෂිමකුත් හැදුවා. මූලිකවම යකඩ අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගත්තා. මෝටරයක් හා පෙට්ටියක් ද ඊට ගැළපෙන අයුරින් නිපදවූවා. ඒ අනුව තමයි පොල් කොළවලින් බීම බට හැදුවේ. මගේ උත්සාහය සාර්ථක වුණා.
මුලදී බීම බටය ඇලවීම සඳහා මැලියම් වශයෙන් යොදා ගත්තේ දිවුල් හා කජු ගසේ තිබෙන ඇලවෙන මැලියම් වැනි ද්‍රව්‍යයි. නමුත් එය බීම බටය ඇලවිලා තිබුණත්, බීම බටය වතුරට දැමීමේදී ගැලවෙනවා. ඊට පස්සේ ඉන්දියාවෙන් ගෙන්වන ලද ස්වාභාවික ආහාර ශ්‍රේණියේ මැලියම් (Natural Food – Grade Adhesives) යොදා ගත්තා. එය සාර්ථක වුණා.”
ස්වාභාවික ආහාර ශ්‍රේණියේ මැලියම් (Natural Food – Grade Adhesives) රසායනික ද්‍රව්‍යවලින් තොර වන අතර, බටය සම්පූර්ණයෙන්ම ජෛව හායනයට ලක්වන බව සහතික කරයි. මෙම මැලියම් තෙතමනයට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුක්ත වන අතර, විෂ සහිත හෝ ආහාර සුරක්ෂිතතාවට හානි කර රසායනික ද්‍රව්‍ය ද මෙම මැලියම්වල අඩංගු නොවේ.
“බට නිෂ්පාදනය කරන්න යොදා ගන්නේ ගසෙන් ස්වාභාවිකවම වැටෙන වියළි පොල් කොළයි. මේ නිසා අමතර සම්පත් විනාශ වීමක් සිදු වන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපද්‍රව්‍ය ලෙස බැහැර කරන ද්‍රව්‍යයක් වටිනා නිෂ්පාදනයක් බවට පත් කිරීමක් සිදු වෙනවා. ඒ අනුව එක් වියළි පොල් අත්තකින් බීම බට 150 – 200 ක් පමණ සාදන්න පුළුවන්.”
පොල් කොළ බීම බට නිෂ්පාදනය යනු සරල නමුත් පිරිසුදු බව සහ තාක්ෂණික නිරවද්‍යතාව අවශ්‍ය වන ක්‍රියාවලියකි. සාර්ථක හා උසස් තත්ත්වයේ බටයක් නිෂ්පාදනය කිරීම සඳහා පියවර කිහිපයක් අනුගමනය කළ යුතුය. හොඳින් වියළුණු, ගසෙන් ස්වාභාවිකව වැටුණු පොල් කොළ (පොල් පත්‍රිකා/පොල් අතු) තෝරා ගැනීම වැදගත් වේ. එසේ තෝරාගත් කොළ හොඳින් පිරිසුදු කිරීමේ ක්‍රියාවලියකට භාජනය කළ යුතුය. මෙය පියවර තුනකින් යුත් පිරිසුදු කිරීමක් විය හැකිය. පිරිසුදු කළ කොළ, භාවිතයට සුදුසු තත්ත්වයට පත් කිරීම සඳහා තාප පිරියම් කිරීමකට ලක් කළ යුතුය. ඒ සඳහා කොළ, උණු වතුරේ මිනිත්තු 5ක් පමණ තැම්බීම හෝ මිනිත්තු 5 -10 ක් පමණ වාෂ්පයට ඇල්ලීම සිදු කරයි. මෙය කොළවල ඇති අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කර ඒවා මෘදු කර දිලීරනාශක ගුණාංග වැඩිදියුණු කරයි.
ප්‍රතිකාර කළ පොල් කොළවලින් බීම බටයේ අවශ්‍ය දිගට සහ පළලට (උදා- මි.මී. 3-13 විෂ්කම්භයක් සහිත බටයක් සඳහා අවශ්‍ය පළලට) තීරු කපා ගත යුතුය. කපාගත් පත්‍රිකා තීරුව යන්ත්‍රය භාවිතයෙන් පටු සිලින්ඩරාකාර හැඩයකට රෝල් කරනු ලැබේ.
ඇලවීමේදී වැදගත්ම දේ වන්නේ ජලයට ඔරොත්තු දෙන (Water-resistant) ආහාර ශ්‍රේණියේ (Food – Grade) මැලියම් (උදා- ඉරිඟු පිෂ්ඨය, ජෙලටින් මිශ්‍රණ FDA අනුමත සිලිකන් 732 හෝ වෙනත් ස්වාභාවික මැලියම්) භාවිත කිරීමයි. මෙම මැලියම් රසායනික ද්‍රව්‍යවලින් තොර විය යුතුය. රෝල් කරන ලද පත්‍රිකාවේ දාරය දිගේ මැලියම් තට්ටුවක් යොදා, එය සවි කර බටයේ හැඩය ස්ථාවර කරනු ලැබේ.
කෙසේ වුවද, වර්ෂා කාලයේ දී පොල් කොළ වියළා ගැනීමේ අපහසුකම නිසා එම කාලවලදී සිය නිෂ්පාදනයේ යම් අඩුවක් තිබෙන බව චමින්ද කුමාර මහතා පවසයි. ඒ අනූව ඩ්‍රයර් එකක උදව්වෙන් එය වියළා ගැනීමට හැකියාවක් තිබුණ ද, පවතින ආර්ථික දුෂ්කරතා නිසා ඩ්‍රයර් එකක් මිලදී ගැනීම තමන්ට අපහසු බවත්, තම මීළඟ උත්සාහය ඩ්‍රයර් එකක් මිලදී ගැනීම බවත් චමින්ද කුමාර මහතා පවසයි.
තෙතමනය රඳවා තබා ගැනීමට සහ බටයේ කල්පැවැත්ම වැඩි කිරීම සඳහා, සම්පූර්ණ කළ බටය ආහාර ශ්‍රේණියේ මැලියමේ ගිල්වනු ලැබේ. පොල් කොළවල ස්වාභාවිකවම එපිකියුටිකියුලර් ඉටි අඩංගු වන අතර, එය ජලයට ඔරොත්තු දීමේ හැකියාව වැඩිකරයි. කෙසේ වෙතත්, අමතර ආලේපනයක් මඟින් තවදුරටත් කල්පැවැත්ම වැඩි කළ හැකිය. සමහර නිෂ්පාදකයන් අමතර ඉටි ආලේපන භාවිත නොකරන බව ද සඳහන් වේ. වියළීම සහ තත්ත්ව පාලනයට බට හොඳින් වියළා, ප්‍රමිතිය පරීක්ෂා කිරීමෙන් පසු, ඒවා වෙෙළඳපොළට නිකුත් කිරීම සඳහා පිරිසුදු, පරිසර හිතකාමී ඇසුරුම්වල අසුරනු ලැබේ.
පොල් කොළ බීම බට ව්‍යාපාරය ද්විත්ව ප්‍රතිලාභයක් ලබා දෙයි. තනි භාවිත ප්ලාස්ටික් වෙනුවට 100% ක්ම දිරාපත් වන ස්වාභාවික නිෂ්පාදනයක් භාවිතයට ගැනීමෙන් පරිසරයට සිදුවන හානිය අවම වේ. මෙම බටදියරයක පැය කිහිපයක් භාවිත කළ හැකි අතර, කඩදාසි බට මෙන් ඉක්මනින් දියවී යෑමක් හෝ මැලියම් දියවීමක් සිදු නොවේ. මෙම නිෂ්පාදන ක්‍රියාවලිය බොහෝදුරට ශ්‍රමය මත පදනම් වූවක් වන අතර, එය ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන්ට සහ අභියෝගවලට මුහුණ දෙන පුද්ගලයන්ට ස්ථාවර ආදායම් මාර්ගයක් නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දෙයි. නිෂ්පාදන යන්ත්‍ර නිර්මාණය කිරීම මඟින් නවෝත්පාදනයට දොරටු විවර වේ. ඉන්දියාවේ සාජි වර්ගීස් වැනි නවෝත්පාදකයන් මෙම ව්‍යාපාරය ගෝලීය වශයෙන් සාර්ථක කර ඇති අතර, ග්‍රාමීය කාන්තාවන් සිය ගණනකට රැකියා අවස්ථා ලබා දී ඇත.
ශ්‍රී ලංකාව වැනි පොල් සම්පත බහුල රටකට මෙය විශාල අපනයන අවස්ථාවක් මෙන්ම, දේශීය වශයෙන් ප්ලාස්ටික් භාවිතය අඩු කිරීමට කදිම විසඳුමකි. මෙම නවෝත්පාදනය ලෝකයට හඳුන්වා දීමෙන් අපගේ කප්රුකට තවත් වටිනාකමක් එක් කරයි.
පොල් කොළ බීම බට යනු හුදෙක් බටයක් පමණක් නොව, එය තිරසරභාවය, නවෝත්පාදනය සහ අපගේ පොහොසත් ස්වාභාවික සම්පත් පිළිබඳ කතාවකි. ප්ලාස්ටික්වලින් තොර අනාගතයක් වෙනුවෙන් ගත් සරල, නමුත් බලගතු පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය.
editor