ශ්‍රී ලංකාවේ තරුණ නවෝත්පාදකයින් දිරිගැන්වීමට HUTCH වෙතින් IgnitX 2026 දියත් කරයි

රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් සඳහා HUTCH විසින් IgnitX 2026 ඩිජිටල් නවෝත්පාදන තරගාවලිය දියත් කරයි. IIT හි Team Zeptaz කණ්ඩායම ප්‍රථම ස්ථානය දිනා ගනී.

ශ්‍රී ලංකාවේ තරුණ නවෝත්පාදකයින් දිරිගැන්වීමට HUTCH වෙතින් IgnitX 2026 දියත් කරයි

HUTCH ආයතනය විසින් දිවයින පුරා ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල සිසුන් සඳහා The Future of Customer Servicing - Reimagining Customer Experience Through Digital Innovation යන තේමාව යටතේ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසමින් තරගාවලියක් සංවිධානය කරන ලදී.

IgnitX 2026’ යනු HUTCH සමාගම වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය සමඟ ගොඩනඟාගෙන ඇති සබඳතාව ශක්තිමත් කරන සුවිශේෂී සන්ධිස්ථානයකි. HUTCH සමාගම විසින් මීට පෙර අවස්ථා කිහිපයකදීම නායකත්ව හැකියාවන් වර්ධනය කිරීමේ උපදේශන වැඩසටහන්, අත්‍යවශ්‍ය කුසලතා ඔප්නැංවීමේ වැඩමුළු සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන ව්‍යාපෘති සඳහා ක්ෂේත්‍ර චාරිකා සංවිධානය කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත. IgnitX හරහා මෙම සබඳතාව තවදුරටත් ඉදිරියට ගෙනයමින් ශ්‍රී ලංකාවේ අනාගත නව නිර්මාණකරුවන් හඳුනා ගැනීමටත්, ඔවුන්ගේ හැකියාවන් සහ දක්ෂතා වර්ධනය කිරීමටත් HUTCH ආයතනයට
සුවිශේෂී අවස්ථාවක් හිමි වනු ඇත.

මෙම තරගාවලිය සඳහා දිවයිනේ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් කණ්ඩායම් 50ක් සහභාගි විය. ඔවුන් සියලු දෙනාම පාරිභෝගික ගැටලුවලට සාර්ථක ඩිජිටල් විසඳුම් ඉදිරිපත් කරමින් මෙම තරගාවලියට සහභාගි විය. කොළඹ BMICH පරිශ්‍රයේ දී පැවැත්වුණු අවසන් පූර්ව වටයේ දී දැනුවත් කිරීමේ වැඩසටහන්, අදහස් දැක්වීම් සහ ඇගයීම් වට සිදු කෙරුණි. එහිදී කණ්ඩායම් 06ක්  මූලාකෘති ඉදිරිපත් කිරීම සඳහා  අවසන් පූර්ව වටයට තේරි පත් විය. ඒ අනුව Informatics Institute of Technology (IIT) කණ්ඩායමක් මෙහි ජයග්‍රහණය හිමිකරගත් අතර, මොරටුව විශ්වවිද්‍යාලයේ කණ්ඩායම් දෙකක් දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගැනීමට සමත් විය.

කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් Informatics Institute of Technology (IIT) හි 'Zeptaz' කණ්ඩායම (නවීන් හැරී, ජයිත් විජේතුංග සහ ඕජිත් ආදිත්‍ය) වෙනුවෙන් ටෙවින් සිල්වෙස්ටර් ප්‍රකාශ කර සිටියේ IgnitX 2026 තරගාවලියට සහභාගී වීම අපගේ කණ්ඩායමට ඉතා අභියෝගාත්මක මෙන්ම සාර්ථක අත්දැකීමක් වූ බවයි. එමෙන්ම මෙම තරගය ඔවුනට විශාල දිරිගැන්වීමක් සහ අවබෝධයක් ලබා දුන් බව පෙන්වා දුන් ඔහු අවධාරණය කළේ ලැබුණු මඟපෙන්වීම සහ ප්‍රතිචාර තුළින් ඔවුන්ගේ නිර්මාණ තවදුරටත් වැඩිදියුණු කරගැනීමටත්, ඒවා වඩාත් ඵලදායී ලෙස ඉදිරිපත් කිරීමටත් හැකි වූ බවයි. තවද සැබෑ ලෝකයේ පවතින ගැටලු හඳුනාගෙන යහපත් අනාගතයක් උදෙසා ප්‍රායෝගික විසඳුම් නිර්මාණය කිරීමට තමන් තුළ පවතින විශ්වාසය මෙම අත්දැකීම තුළින් තවදුරටත් තහවුරු වූ බව ඔහු කියා සිටියි.  ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට මෙය  ඉතා අගනා අවස්ථාවක්  බවත්, මෙවැනි අවස්ථාවක් උදා කර දීම සම්බන්ධයෙන් HUTCH ආයතනයට සිය කෘතඥතාව පළ කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම වැඩසටහන මඟින්, හුදෙක් විදුලි සංදේශ සේවා සපයන්නෙකු ලෙස පමණක් නොව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් තාක්ෂණය සවිබල ගන්වන්නෙකු දක්වා HUTCH සමාගමේ වර්ධනය පිළිබිඹු කරයි.රටවල් 50 කට අධික සංඛ්‍යාවක 300,000 කට වැඩි සේවකයින් පිරිසක් සහිත Global Fortune 500 ශ්‍රේණිගත කිරීමට ඇතුළත්  ගෝලීය වශයෙන් විවිධාංගීකරණය වූ  CK Hutchison Holdings සමූහයේ දේශීය විදුලි සංදේශ සේවා අනුබද්ධිත සමාගම වන HUTCH,  අනාගත නායකයන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීමට, නවෝත්පාදනයන් බිහි කිරීමට සහ නායකත්වය දීමට අවස්ථා සලසමින් සමාජ වගකීම් ඉටු කිරීමට ද දායක වේ.

HUTCH ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී සෞමිත්‍ර ගුප්තා මහතා සඳහන් කර සිටියේ, ඔවුන්ගේ විශ්වාසයට අනුව අනාගතයේ දී මුහුණ දීමට සිදුවන ගැටලුවලට වඩාත් සමීපව සිටින්නේ තරුණ පරපුර බැවින්, නවෝත්පාදනයන් වඩාත් හොඳින් මෙහෙයවීමේ හැකියාව ඇත්තේ ද ඔවුන්ට බවයි. IgnitX 2026 මගින් ශ්‍රී ලංකාව පුරා සිටින ඉංජිනේරු විද්‍යා උපාධි අපේක්ෂකයින්ට ඔවුන්ගේ අදහස් සැබෑ ලෝකයට ගෙන ඒමටත්, රටේ ඩිජිටල් පරිවර්තන ගමනට සෘජුවම දායක වීමටත් අවස්ථාව සලසා දෙන බව පෙන්වා දුන් ඔහු මෙරට ඩිජිටල් තාක්ෂණය සවිබල ගැන්වීමට අඛණ්ඩව සහය දක්වන බැවින්, IgnitX වැනි වැඩසටහන් ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය හැඩගස්වන කුසලතා පූර්ණ තරුණ පරපුරක් නිර්මාණය කිරීමට උපකාරී වනු ඇති බව ඔහු අවධාරණය කරයි.

HUTCH විසින් සංවිධානය කරනු ලබන IgnitX තරගාවලිය, සෑම වසරකදීම පැවැත්වීමට නියමිතව තිබේ. මෙය දිවයින පුරා සිටින උපාධි අපේක්ෂකයන්ට සිය නව්‍ය ඩිජිටල් විසඳුම් ප්‍රායෝගිකව ඉදිරිපත් කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින තාක්ෂණික ක්ෂේත්‍රය තුළ, සිය හැකියාවන් ප්‍රදර්ශනය කරමින් ඉදිරියට යාමට තරුණ පරපුරට මඟ විවර කරන වේදිකාවක් ද වනු ඇත.