ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් බිලියන 2.1ක ආධාරයක්!
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය ආරක්ෂාව සහ නිරීක්ෂණ හැකියාවන් ඉහළ නැංවීමට RHIB බෝට්ටු මිලදී ගැනීම සඳහා ජපානයෙන් රුපියල් බිලියන 2.1ක ආධාරයක්.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය ආරක්ෂාව සහ නිරීක්ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් බිලියනයක (රුපියල් බිලියන 2.106ක පමණ) ප්‍රදාන ආධාරයක් ලබාදීමට එකඟ වී තිබේ.
මෙම ආධාරයට අදාළ ගිවිසුම් ලේඛන හුවමාරු කිරීම නොවැම්බර් 10 වැනිදා සිදුකෙරිණි.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා (Akio Isomata) සහ භාණ්ඩාගාර ලේකම් සහ මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් විසින් ඊට අදාළ ගිවිසුම් ලේඛනවලට අත්සන් තබා හුවමාරු කරගනු ලැබීය.
මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයාකොන්ත මහතා ද සහභාගි විය.
ජපානයේ 2026 මූල්‍ය වර්ෂයට අදාළ නිල ආරක්ෂක ආධාර (Official Security Assistance – OSA) වැඩසටහන යටතේ මෙම ප්රදානය ලබාදේ.
මෙම ආධාර මුදල යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා දෘඪ බඳකින් යුත් පිම්බිය හැකි බෝට්ටු (Rigid Hull Inflatable Boats – RHIBs) මිලදී ගැනීමට නියමිතය.
සමුද්‍රීය ආරක්ෂාව, නිරීක්ෂණ කටයුතු, මුහුදු ප්‍රදේශ අධීක්ෂණය සහ ආපදා අවස්ථාවලදී කඩිනම් ප්‍රතිචාර දැක්වීම ඇතුළු කටයුතු සඳහා මෙම බෝට්ටු යොදාගැනීමට අපේක්ෂා කෙරේ.
මේ හරහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය ආරක්ෂක සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ජපානයේ නිල ආරක්ෂක ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන දෙවැනි ව්‍යාපෘතිය මෙය වේ.
මීට පෙර පසුගිය වසරේ එකඟ වූ පළමු ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා මිනිසුන් රහිත ගුවන් යානා (Unmanned Aerial Vehicles – UAVs) මිලදී ගැනීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතී.
එම ගුවන් යානා මගින් ද නාවික හමුදාවේ නිරීක්ෂණ, අධීක්ෂණ සහ ආපදා සහන මෙහෙයුම් හැකියාවන් වැඩිදියුණු කිරීමට අපේක්ෂා කෙරේ.
ජපාන රජය විසින් 2023 වසරේදී ආරම්භ කරන ලද OSA වැඩසටහන, සමාන අදහස් දරන රටවල ආරක්ෂක සහ ප්‍රතිරෝධක හැකියාවන් ශක්තිමත් කිරීම අරමුණු කරගත් ප්‍රදාන ආධාර වැඩසටහනකි.
ජපානය ශ්‍රී ලංකාවට ලබාදෙන මෙම ආධාර වැඩසටහන් නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් (Free and Open Indo-Pacific – FOIP) පිළිබඳ ජපානයේ දැක්ම මත පදනම් වේ.
වර්තමානයේ ලෝකය මුහුණ දෙන සංකීර්ණ හා අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණදීම සඳහා ආර්ථික, සමාජීය සහ ආරක්ෂක යන සියලු ක්ෂේත්රයන්හි ස්වාධීනත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ජපාන රජය අවධාරණය කර තිබේ.
මෙම ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් ජපාන තානාපති අකියෝ ඉසෝමාටා මහතා සඳහන් කළේ, ජපානය සහ ශ්‍රී ලංකාව යන දෙරටම ඉන්දු-පැසිෆික් කලාපය බෙදාගන්නා දූපත් රාජ්‍යයන් බවයි.
විශේෂයෙන්ම සමුද්‍රීය ආරක්ෂක ක්ෂේත්රයේ දෙරට අතර තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමට විශාල හැකියාවක් පවතින බව ද ඔහු පැවසීය.
සමුද්‍රීය ආරක්ෂාව සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ කාර්යයන් ස්වාධීනව සිදුකිරීම සඳහා ශ්‍රී ලංකාවේ හැකියාවන් ශක්තිමත් කිරීමටත්, ඉන්දු-පැසිෆික් කලාපය තුළ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවට සක්‍රීය දායකත්වයක් ලබාදීමටත් ජපානය අඛණ්ඩව සහාය වන බව ද තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
editor