සයිබර් ආරක්ෂණ පද්ධති උල්ලංඝනය කළ බවට එල්ල වන චෝදනා ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතික්ෂේප කරයි

සයිබර් ආරක්ෂණ පද්ධති උල්ලංඝනය කළ බවට වන චෝදනා ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතික්ෂේප කරයි. අනවසර ප්‍රවේශයක් හෝ මෙහෙයුම් බාධාවක් තහවුරු වී නොමැත.

සයිබර් ආරක්ෂණ පද්ධති උල්ලංඝනය කළ බවට එල්ල වන චෝදනා ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතික්ෂේප කරයි

අනවසර ප්‍රවේශයක්, දත්ත සොරකමක්, කප්පම් ඉල්ලීමක් හෝ මෙහෙයුම්වලට බාධාවක් සිදු වූ බවට තහවුරු වී නොමැති බව ගුවන් සේවය පවසයි

සිය තොරතුරු තාක්ෂණ (IT) පද්ධති හැකර්වරුන් විසින් අනවසරයෙන් ප්‍රවේශ කර ඇති බවට, අත්පත් කරගෙන ඇති බවට හෝ වෙනත් ආකාරයකින් සම්මුතියකට ලක් කර ඇති බවට මෑතකදී පළ වූ මාධ්‍ය වාර්තා සහ ප්‍රසිද්ධ ප්‍රකාශ ශ්‍රීලංකන් ගුවන් සේවය තරයේ ප්‍රතික්ෂේප කරයි.

තම තොරතුරු තාක්ෂණ පද්ධති හැකර්වරුන්ගේ පාලනය යටතේ නොපවතින බව ද ගුවන් සේවය අවධාරණය කරයි.

2026 ජුනි 29 වැනිදා බාහිර පාර්ශ්වයක් විසින් ප්‍රකාශයට පත් කරන ලද, ශ්‍රීලංකන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ පද්ධතිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බවට වන චෝදනාව මෙම වාර්තා සඳහා පදනම් වී තිබේ.

එම චෝදනාව පිළිබඳව දැනුවත් වූ වහාම අවශ්‍ය විමර්ශන, තාක්ෂණික ඇගයීම් සහ පූර්වාරක්ෂක පියවර ගත් බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

එම පරීක්ෂණවලින් අනතුරුව, ගුවන් සේවයේ අභ්‍යන්තර තොරතුරු තාක්ෂණ පරිසරයට හෝ මෙහෙයුම් පද්ධතිවලට අනවසරයෙන් ප්‍රවේශ වූ බවක්, තොරතුරු සම්පත්වල ආරක්ෂාවට හානි වූ බවක්, දත්ත අනවසරයෙන් පිටතට ලබාගත් බවක් හෝ ගුවන් සේවා සහ මෙහෙයුම් අඛණ්ඩතාවට බාධාවක් සිදු වූ බවක් තහවුරු වී නොමැති බව එම සමාගම පවසයි.

විද්‍යුත් තැපැල් සේවා ඇතුළු සියලුම පද්ධති සහ සේවා බාධාවකින් තොරව ක්‍රියාත්මක වන බව ද ගුවන් සේවය තහවුරු කරයි. කිසිදු අවස්ථාවක සිය මෙහෙයුම්වලට හෝ සේවා අඛණ්ඩතාවට බලපෑමක් සිදු වී නොමැති බව ද එහි සඳහන් වේ.

තවද, අදාළ බව කියන පාර්ශ්වයෙන් බිට්කොයින්, ඇමෙරිකානු ඩොලර් හෝ වෙනත් කිසිදු ආකාරයකින් කප්පම් ඉල්ලීමක් ලැබී නොමැති බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි. කප්පම් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් ද පවත්වා නොමැති බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව, සිය පද්ධති හැකර්වරුන් විසින් අත්පත් කරගෙන ඇති බවට හෝ ඒවා තවදුරටත් ඔවුන්ගේ පාලනය යටතේ පවතින බවට එල්ල වන චෝදනා ශ්‍රීලංකන් ගුවන් සේවය තරයේ ප්‍රතික්ෂේප කරයි.

මගීන්ට, සේවකයන්ට සහ ව්‍යාපාරික හවුල්කරුවන්ට අඛණ්ඩව විශ්වාසදායක සේවාවක් සැපයීම සඳහා සිය තොරතුරු තාක්ෂණ පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීමට සහ සේවා විශ්වසනීයත්වය පවත්වාගෙන යාමට අඛණ්ඩව කැපවී සිටින බව ද ගුවන් සේවය අවධාරණය කරයි.