අර්බුදවලට ප්‍රතිචාර දැක්වීමේ සිට දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව දක්වා: ශ්‍රී ලංකාවේ කෘෂි-ආහාර අනාගතය වෙනුවෙන් නවෝත්පාදනය

ලෝක ආහාර දිනය වෙනුවෙන් FAO නියෝජිත විම්ලේන්ද්‍ර ෂරන්, පූර්ව අනතුරු ඇඟවීම්, ආපදා සූදානම සඳහා මූල්‍යකරණය සහ දේශගුණික බුද්ධිමත් කෘෂිකර්මාන්තය මඟින් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කළ හැකි ආකාරය පැහැදිලි කරයි.

අර්බුදවලට ප්‍රතිචාර දැක්වීමේ සිට දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව දක්වා: ශ්‍රී ලංකාවේ කෘෂි-ආහාර අනාගතය වෙනුවෙන් නවෝත්පාදනය

2026 ලෝක ආහාර දිනය | ඔක්තෝබර් 16

විම්ලේන්ද්‍ර ෂරන්, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) නියෝජිත

ආන්තික කාලගුණික තත්ත්වයන් හේතුවෙන් වගාවන් විනාශ වන විට, යටිතල පහසුකම්වලට හානි සිදුවන විට සහ සැපයුම් දාම අඩාල වන විට එහි ප්‍රතිවිපාක ගොවිබිම්වලට පමණක් සීමා නොවේ. ඒවා ආහාර මිල ගණන්, පවුල්වල පෝෂණ තත්ත්වය, ග්‍රාමීය ආදායම් සහ රාජ්‍ය මූල්‍ය තත්ත්වය කෙරෙහි ද බලපායි. දිට්වා සුළි කුණාටුව මෙම අවදානම ශ්‍රී ලංකාවට කෙතරම් බරපතළද යන්න පැහැදිලිව පෙන්වා දුන්නේය. එල් නිනෝ තත්ත්වය හේතුවෙන් තවදුරටත් දේශගුණික බලපෑම් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරෙන පසුබිමක ශ්‍රී ලංකාව තීරණාත්මක තේරීමකට මුහුණ දෙයි. එනම්, ආපදාවලින් පසුව විශාල පිරිවැයක් දැරීම දිගටම සිදු කරනවාද, නැතහොත් එම ආපදා මානුෂීය අර්බුද බවට පත්වීමට පෙර ජීවනෝපායයන් සහ කෘෂිකාර්මික නිෂ්පාදනය ආරක්ෂා කිරීම සඳහා ආයෝජනය කරනවාද යන්නයි.

මෙහි ආර්ථික බලපෑම අතිමහත්ය. දිට්වා සුළි කුණාටුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1ක සෘජු භෞතික හානියක් සිදුව ඇති බව ලෝක බැංකුව ඇස්තමේන්තු කර තිබේ. එය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 4කට පමණ සමාන වේ. කෘෂිකාර්මික අංශයට පමණක් සිදුව ඇති හානිය ඇමෙරිකානු ඩොලර් මිලියන 814ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මෙම සංඛ්‍යා භෞතික හානි පිළිබඳ ඇස්තමේන්තු වන අතර, ආදායම් හා නිෂ්පාදන අහිමිවීම් හෝ යථා තත්ත්වයට පත්වීම සඳහා අවසානයේ දැරීමට සිදුවන සමස්ත පිරිවැය ඒවාට ඇතුළත් නොවේ. රාජ්‍ය මූල්‍ය අවකාශය සීමිත රටක වළක්වාගත හැකි සෑම හානියක්ම සංවර්ධනය සඳහා යෙදවිය හැකි සීමිත සම්පත් යළි ගොඩනැගීමේ කටයුතු සඳහා යොමු කිරීමට හේතු වේ.

ඔක්තෝබර් 16 වැනිදා ලෝක ආහාර දිනය සමරන මේ මොහොතේ, “අද නවෝත්පාදනය කරමු. හෙට පෝෂණය සලසමු” යන තේමාව අපට වැදගත් පණිවිඩයක් ලබා දෙයි. එනම්, ප්‍රමාණවත්, සුරක්ෂිත සහ පෝෂ්‍යදායී ආහාර සඳහා ප්‍රවේශය තහවුරු කිරීමට අප ආහාර නිෂ්පාදනය කරන, බෙදාහරින සහ පරිභෝජනය කරන ආකාරය නැවත සිතා බැලිය යුතු බවයි. නවෝත්පාදනය යනු නව තාක්ෂණයන්ට පමණක් සීමා වූ දෙයක් නොවේ. දේශගුණික අවදානම් කල්තියා හඳුනාගන්නා ආකාරය, තීරණ ගන්නා ආකාරය, මූල්‍ය සම්පත් සලසා ගන්නා ආකාරය සහ ගොවීන්ගේ හා ධීවරයන්ගේ ජීවනෝපායයන් ආරක්ෂා කිරීමට සහාය වන ආකාරය වෙනස් කිරීම ද ඊට ඇතුළත් වේ.

පූර්ව අනතුරු ඇඟවීම් කඩිනම් ක්‍රියාමාර්ග බවට පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා පළමු ප්‍රමුඛතාව විය යුත්තේ පූර්ව අනතුරු ඇඟවීම් කඩිනම් ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කිරීමයි. විශ්වාසදායක පුරෝකථන, කලින් එකඟ වූ ක්‍රියාමාර්ග සක්‍රීය කිරීමේ සීමාවන් සහ ප්‍රාදේශීය දැනුම පදනම් කරගෙන කෙටි කාලයකින් අස්වැන්න ලබාගත හැකි බීජ, පොහොර සහ අනෙකුත් කෘෂිකාර්මික යෙදවුම් නියමිත වේලාවට ලබාදීම, වගා කාලසටහන් සංශෝධනය කිරීම, පශු සම්පත් සහ ධීවර උපකරණ ආරක්ෂා කිරීම මෙන්ම ජල කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික උපදෙස් ලබාදීම සිදු කළ යුතුය. වගා කාලය අවසන් වූ පසු ගොවියකු වෙත ලැබෙන අනතුරු ඇඟවීමකින් ලැබෙන ප්‍රයෝජනය ඉතා සීමිතය.

කල්තියා ක්‍රියාත්මක වීම සඳහා ශක්තිමත් ආර්ථික පදනමක් ද තිබේ. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ගෝලීය සාක්ෂි අනුව, අවදානම් සැලකිල්ලට ගනිමින් කෘෂිකර්මාන්තයේ කල්තියා ගන්නා ක්‍රියාමාර්ග සඳහා ආයෝජනය කරන සෑම ඇමෙරිකානු ඩොලරයකටම වළක්වාගත් හානි සහ අමතර ප්‍රතිලාභ වශයෙන් ඩොලර් 7ක් දක්වා වටිනාකමක් ලැබී තිබේ. බහු-ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සඳහා සිදුකරන ආයෝජන මඟින් සෑම ඩොලරයකටම ඇමෙරිකානු ඩොලර් 9ක ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) ඇස්තමේන්තු කරයි.

මේවා ගෝලීය සොයාගැනීම් වන අතර සෑම ව්‍යාපෘතියකින්ම එවැනි ප්‍රතිලාභ අනිවාර්යයෙන්ම ලැබෙන බවට සහතිකයක් නොවේ. එහෙත් එක් කරුණක් පැහැදිලිය. ආපදා සඳහා සූදානම් වීම දැරිය නොහැකි අමතර වියදමක් නොවේ. නැවත නැවතත් සිදුවන, වළක්වාගත හැකි හානි සැබෑ බරක් බවට පත්වේ.

මෙහි පරිමාණය තේරුම් ගැනීමට උදාහරණයක් සලකා බලමු. කෘෂිකාර්මික ආපදා සූදානම සහ පූර්ව ක්‍රියාමාර්ග සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක මූල්‍ය පහසුකමක් සලසා තිබුණේ නම්, එය දිට්වා සුළි කුණාටුවෙන් කෘෂිකර්මාන්තයට සිදුවූ බවට ඇස්තමේන්තු කර ඇති ඩොලර් මිලියන 814ක හානියෙන් සියයට 1.2ක් පමණි. එවැනි පහසුකමකින් සියලු ආපදා හානි වළක්වාගත නොහැකි අතර, මෙය යෝජිත අයවැයක් ද නොවේ. එහෙත් වගා කාලයකට අවදානමක් ඇති බව පුරෝකථන මඟින් පෙන්වා දෙන විට, කුඩා පරිමාණ ගොවීන්ට නැවත වගා කිරීම, නිෂ්පාදන වත්කම් ප්‍රතිස්ථාපනය කිරීම හෝ අහිමි වූ ආදායම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවන තෙක් බලා නොසිට කඩිනමින් සහාය ලබාදීමට එවැනි පූර්වයෙන් සකස් කළ මූල්‍ය පහසුකමකට හැකි වේ.

කලාපීය රටවලින් ලබාගත හැකි පාඩම්

මෙවැනි ක්‍රියාමාර්ග ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි බව වෙනත් රටවල් පෙන්වා දී තිබේ. බංග්ලාදේශය සහ ඉන්දියාව යන අසල්වැසි රටවල පූර්ව අනතුරු ඇඟවීම්, ප්‍රජා ජාල සහ මූල්‍ය පහසුකම් එකිනෙක සම්බන්ධ කරමින් ක්‍රියාත්මක කිරීමේ උදාහරණ දැකගත හැකිය. හදිසි ආපදාවක් සිදුවීමට පෙර ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක කොන්දේසි සහිත ආපදා මූල්‍ය පහසුකමක් සකස් කිරීමෙන් නේපාලය ද මෙහි මූල්‍යමය පැත්ත සම්බන්ධයෙන් ආදර්ශයක් සපයා තිබේ.

ශ්‍රී ලංකා රජය සමඟ එක්ව FAO ද මෙම මූලධර්මය මෙරට ක්‍රියාත්මක කිරීමට සහාය වෙමින් සිටී. ජාතික ආයතන සහ තාක්ෂණික ආයතන සමඟ එක්ව මඩකලපුව සඳහා ඒකාබද්ධ ගංවතුර පූර්ව ක්‍රියාමාර්ග ප්‍රොටෝකෝලයක්, කුරුණෑගල සඳහා නියඟ ක්‍රියාමාර්ග සක්‍රීය කිරීමේ ක්‍රමවේදයක් සහ කාලගුණ විද්‍යාත්මක තොරතුරු මහජන සෞඛ්‍ය අවදානම් සමඟ සම්බන්ධ කරන මී උණ අවදානම් ක්‍රියාමාර්ග සක්‍රීය කිරීමේ ක්‍රමවේදයක් සඳහා FAO සහාය ලබාදෙයි.

ක්‍රියාකාරී නියඟ පුරෝකථන සහ ආයතනික ආපදා කළමනාකරණ සැලසුම් සකස් කිරීම සඳහා ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ FAO කටයුතු කරයි. මෙහි අරමුණ වන්නේ අවදානම් පිළිබඳ තොරතුරු කඩිනම් සහ සම්බන්ධීකරණයෙන් යුත් තීරණ බවට පරිවර්තනය කිරීමයි.

සෑම ආපදාවකදීම අලුතින් මූල්‍ය සම්පත් සොයාගැනීම වෙනුවට ශ්‍රී ලංකාව ආපදා සූදානම සඳහා වන මූල්‍යකරණය ආයතනගත කළ යුතුය. ඒ සඳහා පූර්ව ක්‍රියාමාර්ග වෙනුවෙන් පුරෝකථනය කළ හැකි අරමුදල් වෙන් කිරීම, පුරෝකථන මත පදනම් වූ විනිවිදභාවයෙන් යුත් ක්‍රියාමාර්ග සක්‍රීය කිරීමේ නිර්ණායක සහ සහාය ලබාදීමේ වගකීම් කල්තියා එකඟ කරගැනීම අවශ්‍ය වේ. ඩිජිටල් කෘෂිකාර්මික යෙදවුම් වවුචර් සහ හදිසි තත්ත්වයන්ට ප්‍රතිචාර දක්වන සමාජ ආරක්ෂණ ක්‍රමවේද වැනි වේගවත් සහාය සැපයීමේ මාර්ග ද භාවිත කළ යුතුය.

කලින් සකස් කරගත් පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය පහසුකම් සහ සුදුසු අවදානම් මූල්‍යකරණ මෙවලම් මඟින් දේශීය සම්පත් ශක්තිමත් කළ හැකිය. ඒ සඳහා අතිරේක රාජ්‍ය ණය ලබාගැනීම සෑම විටම විසඳුම යැයි උපකල්පනය කිරීම අවශ්‍ය නොවේ. නියමිත වේලාවට වගා කළ හෙක්ටයාර ප්‍රමාණය, ආරක්ෂා කළ වගාවන් සහ ජීවනෝපායයන්, වළක්වාගත් හානි සහ හදිසි ආධාර මත යැපීමට සිදු නොවූ පවුල් සංඛ්‍යාව වැනි මැනිය හැකි ප්‍රතිඵල මත සාර්ථකත්වය තීරණය කළ යුතුය.

ක්ෂණික ආපදා ප්‍රතිචාරයෙන් ඔබ්බට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම

ක්ෂණික ආරක්ෂණ ක්‍රියාමාර්ගවලට අමතරව, දිගුකාලීන ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට කාර්යක්ෂම වාරිමාර්ග පද්ධති, දේශගුණික බලපෑම්වලට ඔරොත්තු දෙන බීජ, දේශගුණික බුද්ධිමත් කෘෂිකර්මාන්තය, පහසුවෙන් ලබාගත හැකි කාලගුණ තොරතුරු සහ ශක්තිමත් කෘෂිකාර්මික ව්‍යාප්ති සේවා සඳහා අඛණ්ඩ ආයෝජන අවශ්‍ය වේ. ඩිජිටල් මෙවලම් මඟින් අවදානම් දත්ත සහ කෘෂිකාර්මික උපදෙස් ගොවිබිමටම නියමිත වේලාවට ලැබෙන සහාය සමඟ සම්බන්ධ කළ හැකිය.

ධීවර ක්ෂේත්‍රයේ ද අවදානම් පදනම් කරගත් කළමනාකරණය, ඔරොත්තු දීමේ හැකියාව සහිත ධීවර යාත්‍රා ගොඩබෑමේ ස්ථාන, ගබඩා පහසුකම් සහ සැපයුම් දාම එකසේ වැදගත් වේ. ශක්තිමත් කෘෂි-ආහාර පද්ධති ගොඩනැගීම සඳහා රජය, පර්යේෂණ ආයතන, පෞද්ගලික අංශය සහ සංවර්ධන හවුල්කරුවන් පොදු ප්‍රමුඛතා ඔස්සේ එක්ව කටයුතු කළ යුතුය.

තරුණ තරුණියන්ගේ අදහස් හා නිර්මාණශීලීත්වය යොදාගැනීම ද නවෝත්පාදනයේ කොටසකි. ලෝක ආහාර දින තරුණ නවෝත්පාදන අභියෝගය හරහා FAO, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ හැටන් නැෂනල් බැංකුව එක්ව, වඩාත් ඔරොත්තු දෙන කෘෂි-ආහාර පද්ධති සඳහා ප්‍රායෝගික විසඳුම් සංවර්ධනය කිරීමට තරුණ නවෝත්පාදකයන්ට සහාය ලබාදෙයි.

පොරොන්දු සහගත අදහස් ගොවීන්ට සහ ධීවරයන්ට සැබෑවටම භාවිත කළ හැකි විසඳුම් බවට පත් කිරීම අනාගතය සඳහා සූදානම් වීමේ අත්‍යවශ්‍ය අංගයකි.

ශ්‍රී ලංකාවට එල් නිනෝ තත්ත්වය වළක්වාගත නොහැකිය. දේශගුණික උපද්‍රව සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට ද නොහැකිය. එහෙත් මීළඟ අනතුරු ඇඟවීම නිකුත් වන විට ඒ සමඟ ක්‍රියාකාරී සැලැස්මක්, අවශ්‍ය සම්පත් සහ ක්‍රියාත්මක වීමේ හැකියාව තිබිය යුතුද යන්න තීරණය කළ හැකිය. ආපදා සඳහා සූදානම් වීමෙන් හදිසි ආධාර අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම ඉවත් කළ නොහැකි වුවත්, එවැනි ආධාර අවශ්‍ය වන තරමට සිදුවන හානි අවම කළ හැකිය.

මෙවර ලෝක ආහාර දිනයේදී අප මුහුණ දෙන තේරීම දැන් වියදම් කරනවාද පසුව වියදම් කරනවාද යන්න නොවේ. අස්වැන්න, ජීවනෝපායයන් සහ පෝෂණය ආරක්ෂා කරගැනීම සඳහා කල්තියා ආයෝජනය කරනවාද, නැතහොත් ඒවා අහිමි වූ පසු ඊට වඩා බෙහෙවින් ඉහළ මිලක් ගෙවනවාද යන්නයි.