SATA 2026 සම්මානයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය පිදුම් ලබයි

SATA 2026 දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේ ප්‍රමුඛ ජාත්‍යන්තර ගුවන් සේවය සඳහා වන ජනතා තේරීම් සම්මානය ශ්‍රීලංකන් ගුවන් සේවය දිනාගනී.

SATA 2026 සම්මානයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය පිදුම් ලබයි

දකුණු ආසියානු සංචාරක සම්මාන (South Asian Travel Awards – SATA) 2026 උළෙලේදී ප්‍රමුඛ ජාත්‍යන්තර ගුවන් සේවය සඳහා වන ජනතා තේරීම් සම්මානය (Visitors’ Choice Award) දිනාගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය යළිත් සමත්ව තිබේ. මෙම ජයග්‍රහණය මඟින් කලාපීය සංචාරක හා ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ එම ගුවන් සේවයට හිමි පිළිගැනීම තවදුරටත් තහවුරු වේ.

මීට පෙර වසරවලදී ද මෙම සම්මානය දිනාගෙන ඇති ශ්‍රීලංකන් ගුවන් සේවය, මෙවර එම කාණ්ඩය යටතේ සම්මානයෙන් පිදුම් ලැබූ එකම ජාත්‍යන්තර ගුවන් සේවය බවට පත්විය. SATA සම්මාන උළෙලේ 10 වැනි සංවත්සර සැමරුම මෙම මාසයේ මුල් භාගයේදී මාලදිවයිනේ මාලේ නගරයේ පිහිටි Hotel Barcelo Nasandhura හෝටලයේදී පැවැත්විණි.

මාලදිවයිනේ සංචාරක හා ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රධාන උත්සවයක් ලෙස සැලකෙන මෙම සම්මාන උළෙලට රජයේ අමාත්‍යවරුන්, ප්‍රභූවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ප්‍රමුඛ ගුවන් සේවාවල ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවෝ රැසක් සහභාගී වූහ.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ වාණිජ අංශ ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ, මෙම සම්මානය මගීන්ට විශිෂ්ට සේවාවක් සැපයීමට සහ කලාපය තුළ ගුවන් සේවයේ පැවැත්ම ශක්තිමත් කිරීමට දරන අඛණ්ඩ උත්සාහය පිළිබඳ වැදගත් ඇගයීමක් වන බවයි.

“දකුණු ආසියානු සංචාරක සම්මාන 2026 හිදී මෙම පිළිගැනීම ලැබීම පිළිබඳව අපි ගෞරවයට පත්වෙනවා. ජනතා තේරීම් සම්මාන යටතේ ප්‍රමුඛ ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස යළිත් නම් කරනු ලැබීම, අපගේ මගීන්ට සේවය කිරීමට සහ කලාපය තුළ අපගේ පැවැත්ම ශක්තිමත් කිරීමට අප දක්වන කැපවීම පිළිබඳ වැදගත් ඇගයීමක්. අප පිරිනමන සංචාරක අත්දැකීම තවදුරටත් වැඩිදියුණු කිරීමටත්, අප සේවය කරන වෙළෙඳපොළ හා ප්‍රජාවන් සමඟ වඩාත් ශක්තිමත් සබඳතා ගොඩනැගීමටත් මෙම සම්මානය අපට දිරිගැන්වීමක්,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

සේවා විශිෂ්ටත්වය සඳහා වන කැපවීමට සමගාමීව, ශ්‍රීලංකන් ගුවන් සේවය ලොව පුරා ගමනාන්ත වෙත පහසු සම්බන්ධතා සපයන පුළුල් ගුවන් ගමන් ජාලයක් ක්‍රියාත්මක කරයි.

දකුණු ආසියානු කලාපය තුළ ඉන්දියාව, පාකිස්තානය, මාලදිවයින, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල ගමනාන්ත 15ක් වෙත සතියකට ගුවන් ගමන් 130කට ආසන්න සංඛ්‍යාවක් එම ගුවන් සේවය ක්‍රියාත්මක කරයි. ව්‍යාපාරික හෝ විනෝදාස්වාද කටයුතු සඳහා කොළඹට පැමිණෙන මගීන්ට මෙන්ම වෙනත් ජාත්‍යන්තර ගමනාන්ත වෙත සිය ගමන ඉදිරියට ගෙන යන මගීන්ට ද පහසු සම්බන්ධතා සැලසෙන පරිදි ගුවන් ගමන් කාලසටහන් සකස් කර ඇත.

මෙම සම්මානය මඟින් කලාපීය සංචාරක හා ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ස්ථානය තවදුරටත් ශක්තිමත් වන අතර, ගුණාත්මක සංචාරක අත්දැකීමක් ලබාදීම සහ මගීන් හා ක්ෂේත්‍රයේ හවුල්කරුවන් සමඟ ශක්තිමත් සබඳතා පවත්වාගෙන යාම සඳහා එම ගුවන් සේවය දක්වන කැපවීම ද පිළිබිඹු කරයි.

තම සෘජු ගුවන් ගමන් සේවා සහ කේත හුවමාරු හවුල්කාරිත්වයන් (Codeshare Partnerships) හරහා රටවල් 63ක ගමනාන්ත 130ක් වෙත මගීන් සම්බන්ධ කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු කරයි. යුරෝපය, ඔස්ට්‍රේලියාව, මැදපෙරදිග, ඉන්දීය උපමහාද්වීපය, අග්නිදිග ආසියාව සහ ඈත පෙරදිග කලාපවල නගර රැසක් වෙත එම ගුවන් සේවය සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානා සමූහය සම්පූර්ණයෙන්ම එයාර්බස් යානා වලින් සමන්විත වන අතර, එයට A330-200, A330-300, A320 සහ A321 වර්ගයේ ගුවන් යානා ඇතුළත් වේ.