මෙල්බර්න් වෙත සතිපතා ගුවන් ගමන් වැඩි කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය – ඔස්ට්‍රේලියාවට සතියකට ගුවන් ගමන් 14ක්
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඉහළ යන මගී ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, නොවැම්බර් 15 වැනිදා සිට මෙල්බර්න් වෙත සතිපතා ක්‍රියාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව තවත් තුනකින් වැඩි කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය තීරණය කර ඇත. ඒ අනුව ඔස්ට්‍රේලියාව වෙත ක්‍රියාත්මක කරන සමස්ත සතිපතා ගුවන් ගමන් සංඛ්‍යාව 14 දක්වා ඉහළ යනු ඇත. මෙම පුළුල් කිරීම මගින් මගී සම්බන්ධතා, භාණ්ඩ ප්‍රවාහන ධාරිතාව සහ කොළඹ හරහා ජාත්‍යන්තර ගුවන් සම්බන්ධතා වැඩිදියුණු කිරීමට අපේක්ෂා කෙරේ.
නොවැම්බර් 13, කොළඹ: දෙරට අතර සංචාරක ඉල්ලුම ඉහළ යාම හමුවේ, 2026 නොවැම්බර් 15 වැනිදා සිට මෙල්බර්න් නුවර බලා සිදු කෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව තවත් ගුවන් ගමන් වාර තුනකින් වැඩි කරමින්, ශ්‍රීලංකන් ගුවන් සේවය සිය ඕස්ට්‍රේලියානු ගුවන් මෙහෙයුම් සතියකට ගුවන් ගමන් වාර 14ක් දක්වා පුළුල් කිරීමට නියමිතය. ඕස්ට්‍රේලියානු සංචාරක වෙළඳපොළ කෙරෙහි දැඩි අවධානයකින් කටයුතු කරන ශ්‍රීලංකන් ගුවන් සේවය, එරට සිය මෙහෙයුම් සම්බන්ධයෙන් දිගුකාලීන උපායමාර්ගික දැක්මකින් කටයුතු කරයි. විනෝද සංචාර මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාවගේ (diaspora) සංචාර ද හේතුවෙන්, ඕස්ට්‍රේලියාව යනු ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සම්බන්ධයෙන් ඉතා වේගයෙන් වර්ධනය වන වෙළඳපොළකි.
හඳුන්වාදෙන මෙම නව ගුවන් ගමන් වාර තුන සෑම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල ක්‍රියාත්මක වනු ඇත. UL 608 දරන ගුවන් යානය කොළඹින් පස්වරු 14:15 ට පිටත්වී, පසුදින උදෑසන මෙල්බර්න් වේලාවෙන් උදෑසන 05:40 ට මෙල්බර්න් වෙත ළඟා වනු ඇත. ආපසු පැමිණෙන UL 609 දරන ගුවන් යානය මෙල්බර්න් වේලාවෙන් උදෑසන 07:10 ට මෙල්බර්න් වෙතින් පිටත්වී, කොළඹ වේලාවෙන් දහවල් 12:10 ට කොළඹට ළඟා වනු ඇත.
නව ගුවන් වාර වලට අමතරව, ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹින් 00:35 ට පිටත්වී මෙල්බර්න් වෙත 16:00 ට ළඟා වන UL604 දෛනික සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත. ආපසු පැමිණෙන UL605 ගුවන් යානය මෙල්බර්න් සිට 17:30 ට පිටත්වී කොළඹට 22:30 ට ළඟා වේ.
විවේකය, උසස් අධ්‍යාපනය හෝ මිතුරන් සහ නෑදෑයින් බැලීමට යාම සඳහා මෙම නගර දෙක අතර සහ ඉන් ඔබ්බට ගමන් කරන මගීන්ට වැඩි සම්බන්ධක ගුවන් සේවා මෙන්ම වඩාත් සුවපහසු ගුවන් ගමනක් ලබා දීම සඳහා නව කාලසටහන සකස් කර ඇත. මෙල්බර්න් වෙත සිදු කෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීම තුළින්, කොළඹ හරහා ගමන් ගන්නා මගීන්ට ලන්ඩනය, චෙන්නායි, දිල්ලි සහ මාලේ වැනි ශ්‍රීලංකන් ගුවන් සේවය සෘජුවම (online) සේවා සපයන ගමනාන්ත වෙත මෙන්ම, ගුවන් සේවයේ හවුල්කාර ගුවන් සේවා හරහා ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පුරා පිහිටි වෙනත් ගමනාන්ත (offline destinations) වෙත ළඟා වීමට ගතවන කාලය (transit time) අඩු කර ගැනීමට අවස්ථාව සැලසේ.
භාණ්ඩ ප්‍රවාහන පාරිභෝගිකයින් සඳහා, වැඩිදියුණු කළ කාලසටහන මඟින් වැඩිදියුණු කළ ධාරිතාව සහ වඩාත් කාර්යක්ෂම සම්බන්ධතා හරහා අමතර ප්රතිලාභ ගෙන එනු ලබන අතර, මෙල්බර්න් සිට ආරම්භ වී කොළඹ හරහා, විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ ගමනාන්ත වෙත යැවෙන භාණ්ඩ සඳහා, ගමන් කාලය (transit time) කෙටි වීම මෙහි ඇති ප්‍රධාන වාසියකි.
හඳුන්වාදෙන නව ගුවන් වාර මගින් දකුණු ආසියාතික මගීන්ට ශ්‍රී ලංකාව හරහා බාධාවකින් තොරව මෙල්බර්න් වෙත සම්බන්ධ වීමට හැකි වන පරිදි කොළඹ කලාපීය ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස තවදුරටත් ශක්තිමත් කරනු ඇත. හඳුන්වාදෙන නව ගුවන් වාර තුන සමඟින් ශ්‍රීලංකන් ගුවන් සේවය ඕස්ට්‍රේලියාව වෙත සතිපතා සිදුකරන ගුවන් වාර සංඛ්‍යාව 14 දක්වා ඉහළ නංවන අතර, සිඩ්නි වෙත සතිපතා සේවා හතරක් ද ඊට ඇතුළත් වේ.
editor