2026 ජාතික AI තාක්ෂණ සම්මාන උළෙලේදී AI තාක්ෂණයෙන් පෙළහර පෑ පුරෝගාමීන්ට උපහාර

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික AI සම්මාන වැඩසටහන වන ජාතික AI සම්මාන 2026, ශ්‍රී ලංකා AI සතිය 2026 හි කොටසක් ලෙස සැප්තැම්බර් 30 වැනිදා Monarch Imperial හිදී පැවැත්විණි. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-MOBITEL විසින් සංවිධානය කළ මෙම සම්මාන උළෙලේදී විවිධ ක්ෂේත්‍රවල කැපී පෙනෙන කෘත්‍රිම බුද්ධි විසඳුම්, නායකත්වය සහ දක්ෂතා ඇගයීමට ලක් කළ අතර, සම්මාන 64ක් පිරිනැමිණි.

2026 ජාතික AI තාක්ෂණ සම්මාන උළෙලේදී AI තාක්ෂණයෙන් පෙළහර පෑ පුරෝගාමීන්ට උපහාර

ප්‍රථම වරට පැවැත්වූ ජාතික AI තාක්ෂණ සම්මාන උළෙල මඟින් විවිධ ක්ෂේත්‍රවල නවෝත්පාදනය, විශිෂ්ටත්වය සහ බලපෑම ඇගයේ


2026 ශ්‍රී ලංකා AI සතිය (Sri Lanka AI Week 2026) වැඩසටහන් මාලාවේ ප්‍රමුඛතම අංගයක් වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික AI තාක්ෂණ සම්මාන උළෙල සැප්තැම්බර් 30 දින Monarch Imperial හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ඒත් සමඟින් මේ දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වුණු විශාලතම AI වැඩසටහන වන 2026 ශ්‍රී ලංකා AI සතියද සාර්ථක ලෙස නිමාවට පත් විය. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-MOBITEL එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහනට AI හැකතෝන්, AI ප්‍රමුඛයින්ගේ සැඳෑව, AI සමුළුව, AI ප්‍රදර්ශනය සහ ජාතික AI සම්මාන උළෙල යන ප්‍රධාන වැඩසටහන් 5 ඇතුළත් වූ අතර, ඒ හරහා AI සම්බන්ධ නවෝත්පාදනය, සහයෝගීතාව සහ ප්‍රගතිය
සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමුකෙරිණි.


ජාතික AI තාක්ෂණ සම්මාන උළෙල පවත්වන ලද්දේ AI සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ දක්වා අත්කරගෙන ඇති විශිෂ්ටතම ජයග්‍රහණ ඇගයීමට ලක්කිරීමේ අරමුණිනි. එහිදී AI ක්ෂේත්‍රයේ පුරෝගාමීන් සහ විශිෂ්ටතම AI විසඳුම් රැසක් ඇගයීමට ලක් විය.


සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ගරු ඉංජිනේරු එරංග වීරරත්න මහතා සහභාගී වූ අතර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා, SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා සහ SLT-MOBITEL ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ් මහතාද එම අවස්ථාවට එක් වූහ. එමෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන්, තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, විද්වතුන් සහ නවෝත්පාදකයන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 


ජාතික AI තාක්ෂණ සම්මාන උළෙල සඳහා කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය, බැංකුකරණය, අධ්‍යාපනය සහ උසස් ව්‍යවසාය විසඳුම් ඇතුළු ක්ෂේත්‍ර රැසක AI යෙදුම් සහ විසඳුම් ඉදිරිපත් කර තිබිණි. ඉදිරිපත් කළ සෑම අයදුම්පතක්ම ස්වාධීන විනිශ්චයකරුවන් 19 දෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් දැඩි සමාලෝචනයකට ලක් කරන ලද අතර, එහිදී අදාළ නිර්මාණවල ගුණාත්මකභාවය, ප්‍රායෝගිකත්වය සහ බලපෑම පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලදි.


මෙම සම්මාන උළෙලේදී රන් සම්මාන 19 ක්, රිදී සම්මාන 14 ක්, ලෝකඩ සම්මාන 12 ක් සහ කුසලතා සම්මාන 18 ක් වශයෙන් සම්මාන 64 ක් පිරිනැමිණි. එහිදී ‘Sri Lanka AI Transformation Leader of the Year’ රන් සම්මානය Arimac හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී චමීර ප්‍රසාද් ජයසිංහ මහතා වෙත හිමි වූ අතර, ‘National AI Excellence Award – Best Overall AI Solution Across All Sectors’ සම්මානය Emojot UXI – Unified Experience Intelligence ව්‍යාපෘතිය වෙනුවෙන් Emojot (Pvt) Ltd. වෙත හිමි විය.

කර්මාන්ත ක්ෂේත්‍ර අනුව පිරිනැමුණු සම්මාන මඟින් කෘෂිකර්මාන්තය, බැංකුකරණය, මූල්‍ය සහ රක්ෂණ (BFSI), සෞඛ්‍ය සහ ජීව විද්‍යා, නිෂ්පාදන (Industry 5.0), අධ්‍යාපනය සහ ජනමාධ්‍ය යන ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ AI යෙදුම් ඇගයීමට ලක් කෙරිණි. අනාගතය ඉලක්ක කරගත් සම්මාන කාණ්ඩ යටතේ Best AI Startup/MSME Innovation, Best Agentic AI Solution, Best Sinhala/Tamil AI & Localisation Innovation, and University AI Innovation awards සහ Women in AI Leadership යන සම්මාන පිරිනමන ලදි. මීට අමතරව AI Content Creator of the Year කාණ්ඩය යටතේ දැනුම, සමාජ බලපෑම, අනාගත තාක්ෂණය, සංස්කෘතික උරුමය සහ සංචාරක කටයුතු වැනි විෂයන්ට අදාළව නිර්මාණශීලී අන්තර්ගතයන් නිර්මාණය කළ පිරිසක් ඇගයීමට ලක් වූහ.


ශ්‍රී ලංකාව AI ක්ෂේත්‍රය තුළ කැපීපෙනෙන ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින බව 2026 ජාතික AI තාක්ෂණ සම්මාන උළෙල මඟින් මැනැවින් පිළිබිඹු විය. විවිධ ක්ෂේත්‍ර හා විවිධ මට්ටම් නියෝජනය කරන නවෝත්පාදකයන් මෙලෙස ඇගයීමට ලක් කිරීම, දකුණු ආසියාවේ නැගී එන AI කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කිරීමටම මහෝපකාරී වනු ඇත.


2026 ජාතික AI තාක්ෂණ සම්මාන උළෙල සාර්ථක කරගැනීම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-MOBITEL එම උළෙලට ඉදිරිපත් වූ අයදුම්කරුවන්, විනිශ්චයකරුවන්, අනුග්‍රාහකයන්, හවුල්කරුවන්, මාධ්‍ය ආයතන සහ අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන් වෙත සිය හද පිරි කෘතඥතාව පළ කර සිටී.

2026 ශ්‍රී ලංකා AI සතිය’ (Sri Lanka AI Week 2026) වැඩසටහන් මාලාවේ කොටසක් ලෙස පැවති ජාතික AI තාක්ෂණ සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වූ ජයග්‍රාහකයින් 64 දෙනා සමඟ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ගරු ඉංජිනේරු එරංග වීරරත්න  මහතා, SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා සහ SLT-MOBITEL ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ් මහතා