ලෝක ආහාර දිනය 2026: තරුණයන් සඳහා ජාතික නවෝත්පාදන අභියෝගය FAO, අධ්‍යාපන අමාත්‍යාංශය සහ HNB එක්ව දියත් කරයි

FAO, අධ්‍යාපන අමාත්‍යාංශය සහ HNB එක්ව ශ්‍රී ලංකාවේ කෘෂි–ආහාර පද්ධතියේ අභියෝග සඳහා ප්‍රායෝගික විසඳුම් සංවර්ධනය කිරීමට විශ්වවිද්‍යාල සිසුන් සඳහා ජාතික තරුණ නවෝත්පාදන අභියෝගයක් දියත් කර තිබේ.

ලෝක ආහාර දිනය 2026: තරුණයන් සඳහා ජාතික නවෝත්පාදන අභියෝගය FAO, අධ්‍යාපන අමාත්‍යාංශය සහ HNB එක්ව දියත් කරයි

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ හැටන් නැෂනල් බැංකුව (HNB) එක්ව 2026 ලෝක ආහාර දිනය වෙනුවෙන් යෞවන නවෝත්පාදන අභියෝගතාව (Youth Innovation Challenge) ආරම්භ කර ඇත. මෙය දිවයින පුරා සිටින විශ්වවිද්‍යාල සිසුන් සඳහා පවත්වන තරගයකි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා ආහාර නිෂ්පාදන පද්ධති මුහුණ දෙන ප්‍රධාන ගැටලුවලට නව නිර්මාණාත්මක විසඳුම් ඉදිරිපත් කරන ලෙස මෙහිදී සිසුන්ට ආරාධනා කෙරේ.


මෙම තරගය පවත්වන්නේ 2026 ලෝක ආහාර දිනයේ තේමාව වන අද නවෝත්පාදනය කරමු - හෙට දවස පෝෂණය කරමු (Innovate Today – Nourish Tomorrow) යන්න පදනම් කරගෙනයි. තරුණ පරපුරේ නිර්මාණශීලී අදහස්, දැනුම සහ ව්‍යාපාරික හැකියා යොදා ගනිමින්, අපේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, ශක්තිමත් සහ අනාගතයට ගැළපෙන ලෙස සකස් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.


මෙම වැඩසටහනට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක සහාය ලැබේ:


කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, ධීවර, ජලජ සහ සමුද්‍ර සම්පත් අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙම වැඩසටහනට සහාය දක්වන අතර ට්‍රේස් එක්ස්පර්ට් සිටි (TRACE Expert City), විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ආයතනය (IEEE), ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම (SLIC), ශ්‍රී ලංකා කෘෂි ව්‍යවසායකයන්ගේ සංසදය (SLAF), ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය (IFSTSL) සහ ජාතික නවෝත්පාදන නියෝජිතායතනය (NIA) තාක්ෂණික සහයෝගිතාකරුවන් වේ. මෙම වැඩසටහන මෙහෙයවීමේ හවුල්කරුවා ලෙස ස්ක්වෙයාර් හබ් (Square Hub) ආයතනය සම්බන්ධ වේ.


ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සහ ආහාර පද්ධති මේ වන විට ගැටලු රැසකට මුහුණ දෙමින් සිටී. අස්වැන්න නෙළා ගත් පසු සිදුවන හානි, දේශගුණික වෙනස් වීම් නිසා ඇති වන පීඩා, ජලය අපතේ යාම, කෘමි සහ රෝග උවදුරු, නිසි වෙළඳපොළක් නොමැතිකම, මත්ස්‍ය සම්පත නාස්ති වීම, ධීවර ආම්පන්න අහිමි වීම සහ ජලජ ජීවී පාලනයේ ඇති අපහසුතා ඒ අතරින් කිහිපයකි. කෙසේ වෙතත්, මෙම ගැටලු විසඳීම සඳහා අවශ්‍ය පර්යේෂණ, ඉංජිනේරු විද්‍යාව, ඩිජිටල් තාක්ෂණය සහ ව්‍යාපාරික දැනුම අපේ රටේ විශ්වවිද්‍යාල සතුව පවතී. නව නිර්මාණ ඔස්සේ මෙම අභියෝග ජය ගැනීමට එම දැනුම යොදා ගැනීම මෙමගින් අපේක්ෂා කෙරේ.


මේ පිළිබඳව අදහස් දක්වමින් ගරු අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය:

අපේ රටේ තිබෙන බරපතළම ගැටලු විසඳීමට අවශ්‍ය නිර්මාණශීලී අදහස්, දැනුම සහ උනන්දුව අපේ විශ්වවිද්‍යාල සිසුන් සතුව තිබෙනවා. මෙම ලෝක ආහාර දින යෞවන නවෝත්පාදන අභියෝගතාව හරහා විවිධ විෂයයන් හදාරන සිසුන්ට තමන් ඉගෙන ගත් දේ ප්‍රායෝගික ලෝකයේ ගැටලු විසඳීමට යොදා ගැනීමට අවස්ථාව ලැබෙනවා. එමෙන්ම, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ නව නිර්මාණ සහ ව්‍යාපාරික අදහස් දියුණු කිරීමටත් මෙය රුකුලක් වෙනවා. ඉදිරි පරම්පරාවේ නව නිපැයුම්කරුවන්ට, ශක්තිමත් සහ සැමට ආහාර සුරක්ෂිතතාව ඇති ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට දායක වීමට මෙම වැඩසටහන හොඳ මඟපෙන්වීමක් වනු ඇතැයි අපි විශ්වාස කරමු.


මෙම තරගය හරහා කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, පශු සම්පත්, පරිසරය, දේශගුණික වෙනස් වීම්වලට මුහුණ දීම, ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය යන අංශවල පවතින ප්‍රායෝගික ගැටලුවලට විසඳුම් සෙවීමට අවස්ථාව ලැබේ. රජයේ සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවල මෙන්ම වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන ඕනෑම විෂය ධාරාවකට අයත් ශිෂ්‍ය කණ්ඩායම්වලට මීට සහභාගි විය හැකිය.


හැටන් නැෂනල් බැංකුවේ (HNB) කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලේවත්ත මහතා මෙසේ පැවසීය: අලුත් අදහස් ප්‍රායෝගික විසඳුම් බවට පත් කරමින් සමාජයට දිගුකාලීන වටිනාකමක් එක් කිරීමේ හැකියාව තරුණ පරපුරට තිබෙන බව HNB ආයතනය විශ්වාස කරනවා. මේ වැඩසටහන වෙනුවෙන් FAO සංවිධානය සහ ශ්‍රී ලංකා රජය සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. කෘෂිකර්මාන්තය, ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සහ ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය මාර්ග ශක්තිමත් කළ හැකි නව නිර්මාණ බිහි කිරීමටත්, ව්‍යාපාරික හා ගැටලු විසඳීමේ හැකියාව දියුණු කිරීමටත් මෙය විශ්වවිද්‍යාල සිසුන්ට විශාල ශක්තියක් වේවි.


ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන FAO නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතාගේ අදහස මෙසේය: ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා ආහාර පද්ධතිවල අනාගතය රැඳී තිබෙන්නේ නව නිර්මාණ, තරුණ ජවය සහ ඔවුන්ගේ නිර්මාණශීලීත්වය මතයි. මෙම තරගය හරහා සිසුන්ගේ අදහස් ප්‍රායෝගික විසඳුම් බවට පත් කිරීමට FAO සංවිධානය සහ අපගේ හවුල්කරුවන් අවස්ථාව සලසා දෙනවා. මෙමගින් ජාතික මට්ටමේ සංවර්ධන අරමුණු ඉටු කර ගැනීමට සහාය ලැබෙන අතරම, ශක්තිමත් සහ තිරසර ආහාර නිෂ්පාදන පද්ධතියක් ගොඩනැගීමට ද සියල්ලන්ගේ දායකත්වය ලැබෙනවා.


මෙම තරගය අදියර කිහිපයකින් සමන්විත වේ: සංකල්ප පත්‍රිකා කැඳවීම: මුලින්ම දිවයින පුරා සිටින සිසුන්ගෙන් ඔවුන්ගේ මූලික අදහස් ඇතුළත් සංකල්ප පත්‍රිකා කැඳවනු ලැබේ. මාර්ගගත (Online) ඉදිරිපත් කිරීම: මූලික ඇගයීමෙන් පසු, තෝරා ගන්නා කණ්ඩායම් 25කට තම අදහස් අන්තර්ජාලය හරහා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වේ. 


මූලික ආකෘති (Prototypes) නිර්මාණය: ඉන්පසු, තාක්ෂණික විශේෂඥයන්ගේ සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මඟපෙන්වීම යටතේ තම අදහසට අදාළ මූලික ආකෘතියක් නිර්මාණය කිරීම සඳහා හොඳම කණ්ඩායම් 10 තෝරා ගනු ලැබේ.  අවසාන වටය සහ ත්‍යාග ප්‍රදානය: අවසාන වටයට තේරෙන කණ්ඩායම්, 2026 ජාතික ලෝක ආහාර දින සැමරුම් උත්සවයේදී ඔවුන්ගේ නිර්මාණ ඉදිරිපත් කළ යුතුය. එහිදී තෝරා ගන්නා හොඳම කණ්ඩායම් 5ට, විනිශ්චය මණ්ඩලයක් සහ අනාගතයේදී ඔවුන්ගේ නිර්මාණ සඳහා ආයෝජනය කළ හැකි ව්‍යාපාරිකයන් ඉදිරියේ තමන්ගේ නවෝත්පාදන ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ.


ඉන් හොඳම කණ්ඩායම් 3 සඳහා මුදල් ත්‍යාග පිරිනැමේ. තව ද, අවසාන වටයට තේරෙන සියලුම කණ්ඩායම්වලට ජාතික මට්ටමේ ඇගයීමක් හිමි වන අතරම, රජය,  අධ්‍යාපන ක්ෂේත්‍රය, සංවර්ධන ආයතන සහ පෞද්ගලික අංශය සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට ද අවස්ථාව හිමි වේ.


නව නිර්මාණ සඳහා සිසුන් දිරිමත් කිරීමට අමතරව, විශ්වවිද්‍යාල, රාජ්‍ය ආයතන, කර්මාන්ත ක්ෂේත්‍රය සහ විවිධ සංවර්ධන ආයතන අතර සහයෝගය ශක්තිමත් කිරීම ද මෙහි අරමුණකි. මේ හරහා, සිසුන්ගේ අධ්‍යයන පර්යේෂණ හුදෙක් පොත්පත්වලට පමණක් සීමා නො වී ගොවීන්ට, ධීවරයන්ට, සත්ත්ව පාලනයේ යෙදෙන්නන්ට සහ පාරිභෝගිකයන්ට ප්‍රයෝජනවත් වන සැබෑ ලෝකයේ විසඳුම් බවට පත් වනු ඇත.


1945 වර්ෂයේදී FAO සංවිධානය ආරම්භ කිරීම සිහිපත් කරමින්, සෑම වසරකම ඔක්තෝබර් 16 වැනිදා ලෝක ආහාර දිනය සමරනු ලබයි. ලොව පුරා රටවල් 150කට අධික සංඛ්‍යාවක සමරන මෙම දිනයේ ප්‍රධාන අරමුණ වන්නේ ආහාර සුරක්ෂිතතාව, නිසි පෝෂණය සහ කල්පවතින ආහාර නිෂ්පාදන පද්ධතිවල වැදගත්කම ගැන ජනතාව දැනුම්වත් කිරීමයි. එසේම, සෑම කෙනෙකුටම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා දීම වෙනුවෙන් සියලු දෙනා එකමුතුව කටයුතු කිරීම ද මෙහිදී දිරිමත් කෙරේ.