එක්සත් ජනපද පැසිෆික් යුද හමුදා නියෝජ්‍ය අණදෙන නිලධාරි ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංචාරයක නිරත වෙයි
ඇමරිකානු පැසිෆික් හමුදාවේ (USARPAC) නියෝජ්‍ය අණදෙන නිලධාරී ලුතිනන් ජෙනරාල් ජොයෙල් “JP” වොවෙල් සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 1 දක්වා නිල සංචාරයක් සඳහා කොළඹට පැමිණ තිබේ. මෙම සංචාරයේදී ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර හමුදා සහ ආරක්ෂක සහයෝගීතාව, ඒකාබද්ධ හමුදා අභ්‍යාස, මෙහෙයුම් සූදානම, හැකියා වර්ධනය, මානුෂීය ආධාර සහ ආපදා ප්‍රතිචාරය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
කොළඹ, 2026 සැප්තැම්බර් 29: සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 1 දක්වා පැවැත්වෙන වැඩසටහන් සඳහා සහභාගී වීම පිණිස, එක්සත් ජනපද යුද හමුදා පැසිෆික් අණදෙන මූලස්ථානයේ (USARPAC) නියෝජ්‍ය අණදෙන ජෙනරාල් ලුතිනන් ජෙනරාල් ජොයෙල් “ජේ.බී.” වවල් මහතා (Joel “JB” Vowell) අද කොළඹට පැමිණියේය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉහළම නිලයක් දරන එක්සත් ජනපද යුද හමුදා නිලධාරියා බවට ඔහු පත්විය. ඔහුගේ මෙම සංචාරය, එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා යුද හමුදා අතර වර්ධනය වෙමින් පවතින සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
“ලුතිනන් ජෙනරාල් වවල්ගේ මෙම ඓතිහාසික සංචාරය, ශ්‍රී ලංකාව සමඟ අප පවත්වාගෙන යන ආරක්ෂක හවුල්කාරිත්වයේ වර්ධනය වන ශක්තිය මෙන්ම ප්‍රතිඵල අත්පත් කර ගැනීම සඳහා අප දෙපාර්ශ්වය දරන පොදු කැපවීම ද පිළිබිඹු කරයි,” යනුවෙන් එක්සත් ජනපද තානාපති එරික් මයර් මහතා පැවසීය. “එක්ව පුහුණුවීම්වල නිරත වීම, අන්තර්ක්‍රියාකාරී හැකියාව ශක්තිමත් කිරීම සහ අර්බුදවලට ප්‍රතිචාර දැක්වීමේ අපගේ හැකියාව වැඩිදියුණු කිරීම තුළින්, අපගේ ජනතාව ආරක්ෂා කිරීමටත් ඉන්දියානු සාගර කලාපය පුරා ආරක්ෂාව ශක්තිමත් කිරීමටත් අපි වඩාත් හොඳින් සූදානම් වී සිටිමු.” යනුවෙන් එරික් මයර් තානාපතිතුමා වැඩිදුරටත් පැවසීය අන්තර් ක්‍රියාකාරී හැකියාව, සූදානම සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලුතිනන් ජෙනරාල් වවල් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් හමුවනු ඇත. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ යුද අභ්‍යාස, ධාරිතා වර්ධන වැඩසටහන් මෙන්ම මානුෂීය ආධාර සහ ආපදා ප්‍රතිචාර සම්බන්ධ සහයෝගීතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත. තවද, ලුතිනන් ජෙනරාල් වවල් මහතා ඊළඟ පරම්පරාවේ හමුදා නායකයින් අමතනු ඇති අතර, කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා වෘත්තීය හමුදා බලකායන් ඉටු කරන වැදගත් කාර්යභාරය පිළිබඳව ද අවධානය යොමු කරනු ඇත.
ලුතිනන් ජෙනරාල් වවල්ගේ මෙම සංචාරය, ඉන්දු-පැසිෆික් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් එක්සත් ජනපදයේ අඛණ්ඩ කැපවීම අවධාරණය කරන අතර, මැයි මාසයේ සාර්ථක ලෙස පැවති ගොඩබිම බළකායන් (Land Forces Talks) අතර ඇතිවූ සාකච්ඡා මගින් ලත් ප්‍රගතිය තවදුරටත් ඉදිරියට ගෙන යයි. එමෙන්ම, මෙම සංචාරය එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර හවුල්කාරිත්වයේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය සහ අත්කරගෙන ඇති ප්‍රතිඵල ද පිළිබිඹු කරයි.
එක්සත් ජනපද යුද හමුදා පැසිෆික් අණදෙන මූලස්ථානයේ (USARPAC) නියෝජ්‍ය අණදෙන ජෙනරාල් ලුතිනන් ජෙනරාල් ජොයෙල් වවල්ගේ නිල ඡායාරූපය.
ලුතිනන් ජෙනරාල් ජොයෙල් “ජේ.බී” වවල් එක්සත් ජනපද යුද හමුදා පැසිෆික් අණදෙන මූලස්ථානයේ නියෝජ්‍ය අණදෙන ජෙනරාල්
ලුතිනන් ජෙනරාල් ජොයෙල් “ජේ.බී.” වවල් මහතා 1991 වසරේ ඇලබාමා විශ්වවිද්‍යාලයෙන් පාබල හමුදා නිලධාරියෙකු ලෙස සිය හමුදා සේවය ආරම්භ කළේය. සිය වෘත්තීය සේවා කාලය තුළ ඔහු යුරෝපය, පැසිෆික් කලාපය සහ මැද පෙරදිග මෙන්ම එක්සත් ජනපදය පුරා පිහිටි ස්ථාන රැසක ද සේවය කර ඇත.
ලුතිනන් ජෙනරාල් වවල් මහතා ඇෆ්ගනිස්ථානයේ සටන් මෙහෙයුම් සඳහා අවස්ථා තුනකදීත්, ඉරාකයේ අවස්ථා දෙකකදීත් සේවය කර ඇති අතර, එම මෙහෙයුම් අතරට හමුදා බලකා වැඩි වශයෙන් යෙදවූ “සර්ජ්” (Surge) මෙහෙයුම් දෙකම ඇතුළත් වේ. ඔහු කෙන්ටකි ප්‍රාන්තයේ ෆෝට් කැම්බල් (Fort Campbell) හි පිහිටි 101 වන ගුවන් ප්‍රහාරක සේනාංකයේ (101st Airborne Division) 327 වන පාබල රෙජිමේන්තුවේ 2 වන බලඇණිය (“No Slack”) සහ 3 වන බ්‍රිගේඩ් සටන් කණ්ඩායම (“Rakkasans”) යන ඒකකවල අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේය. ලුතිනන් ජෙනරාල් වවල් ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ යුද විද්‍යාල සාමාජිකයෙකු (War College Fellow) ලෙස කටයුතු කළ අතර, පසුව බෲකින්ස් ආයතනයේ (Brookings Institution) යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියාගේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයා ලෙසත්, ඉන් අනතුරුව යුද හමුදා ලේකම්වරයාගේ විධායක නිලධාරියා ලෙසත් කටයුතු කළේය.
ඔහු 25 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය අණදෙන ජෙනරාල් (මෙහෙයුම්) ලෙසත්, එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් අණදෙන මූලස්ථානයේ (USINDOPACOM) උපායමාර්ගික සැලසුම් සහ ප්‍රතිපත්ති පිළිබඳ නියෝජ්‍ය J5 නිලධාරියා ලෙසත් කටයුතු කර ඇත. ඔහු එක්සත් ජනපද යුද හමුදා ජපාන/I බලකායේ (FWD) අණදෙන ජෙනරාල්වරයා ලෙස කටයුතු කළ අතර, ඔහුගේ අවසන් රාජකාරිය වූයේ
ඉරාකය සහ සිරියාව තුළ ක්‍රියාත්මක “CJTF-Operation Inherent Resolve” මෙහෙයුමේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කිරීමයි. ලුතිනන් ජෙනරාල් වවල් වර්තමානයේ හවායි හි ෆෝට් ශාෆ්ටර් (Fort Shafter) හි පිහිටි එක්සත් ජනපද යුද හමුදා පැසිෆික් අණදෙන මූලස්ථානයේ (USARPAC) නියෝජ්‍ය අණදෙන ජෙනරාල්වරයා ලෙස කටයුතු කරයි.
ලුතිනන් ජෙනරාල් වවල් කැලිෆෝනියාවේ පෝර්ටෝලා වැලි (Portola Valley) හි පිහිටි “CoreTechs Masters” මාර්ග පාපැදි කණ්ඩායමේ සාමාජිකයෙකු වන අතර, හවායි ප්‍රාන්ත පාපැදි ශූරයෙකු ද වේ.
ඔහු විවාහකයෙකු වන අතර, පුතුන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙකි.
editor