නව එක්සත් ජනපද පීස් කෝර් (Peace Corps) ස්වේච්ඡා සේවකයන් 34 දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණෙති

වසර දෙකක සේවා කාලයක් ආරම්භ කිරීමට පෙර පුහුණුව සඳහා නව ඇමරිකානු Peace Corps පුහුණු ස්වේච්ඡා සේවකයින් 34 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. සිංහල හෝ දෙමළ භාෂාව, ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ ඇමරිකානු ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම පිළිබඳ පුහුණුවෙන් පසුව, ඔවුන් උතුරු සහ උතුරු මැද පළාත්වල ශ්‍රී ලාංකික ගුරුවරුන් සහ ප්‍රජාවන් සමඟ එක්ව ඉංග්‍රීසි අධ්‍යාපනය පුළුල් කිරීමේ කටයුතුවල නිරත වීමට නියමිතය.

නව එක්සත් ජනපද පීස් කෝර් (Peace Corps) ස්වේච්ඡා සේවකයන් 34 දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණෙති

කොළඹ, 2026 සැප්තැම්බර් 17 — වසර දෙකක සේවා කාලයක් සඳහා සිය ගමන ආරම්භ කරමින්, එක්සත් ජනපද පීස් කෝර් වැඩසටහනේ පුහුණුව ලබන නවක ස්වේච්ඡා සේවකයින් 34 දෙනෙක් මෙම සතියේ ශ්‍රී ලංකාවට පැමිණියහ.නොවැම්බර් මාසයේදී පීස් කෝර් සේවා ප්‍රතිඥාව ලබාදීමට පෙර, මෙම ඇමරිකානුවන් සිංහල හෝ දෙමළ භාෂාව, ශ්‍රී ලාංකික සංස්කෘතිය සහ ඇමරිකානු ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පිළිබඳ විධිමත් පුහුණුවක් සම්පූර්ණ කරනු ඇත. දිවුරුම් දීමෙන් පසු, ඔවුන් උතුරු සහ උතුරු මැද පළාත්වල සේවය කරනු ඇත. එහිදී ඇමරිකානු ඉංග්‍රීසි අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා ශ්‍රී ලාංකික ගුරුවරුන් සහ සිසුන් සමඟ කටයුතු කරන අතර, ශ්‍රී ලාංකික සත්කාරක පවුල් සමඟ ජීවත් වෙමින් ප්‍රාදේශීය ප්‍රජාවන් සමඟ ද එක්ව කටයුතු කරනු ඇත.


ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති එරික් මයර් මහතා, කොළඹ පිහිටි පීස් කෝර් කාර්යාලයේදී පුහුණුව ලබන නවක ස්වේච්ඡා සේවකයින් පිළිගත්තේය.“අපේ රටවල් අතර ශක්තිමත්ම සබඳතා ගොඩනැගෙන්නේ පුද්ගලයන් අතර සෘජු සබඳතා තුළින් වන අතර, ඇමරිකානුවන් එම කාර්යයේ කේන්ද්‍රස්ථානයට ගෙන ඒමට පීස් කෝර් ආයතනය කටයුතු කරයි,” මයර් තානාපතිතුමා පැවසීය. “තමන් සේවය කරන ප්‍රජාවන් සමඟ එක්ව කටයුතු කරමින්, මෙම නව ස්වේච්ඡා සේවකයන් ආර්ථික අවස්ථා සඳහා නව මංපෙත් විවර කිරීමටත්, ඉන්දු-පැසිෆික් කලාපයේ අපගේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙක අතර සබඳතා ශක්තිමත් කිරීමටත් උපකාරී වන කුසලතා සහ සබඳතා වර්ධනය කරගනු ඇත.


ශ්‍රී ලංකාවේ පීස් කෝර් සේවාව 1962 වසර දක්වා දිව යයි; ඒ, ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන් පළමු ඇමරිකානු ස්වේච්ඡා සේවකයන් පිරිස මෙරටට පැමිණි අවස්ථාවේදීය. අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, ප්‍රජා සංවර්ධනය සහ සුනාමි ප්‍රතිසාධන කටයුතු සඳහා ඇමරිකානුවන් 500කට අධික සංඛ්‍යාවක් මෙරට සේවය කර ඇත. ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය කෙරෙහි නව අවධානයක් යොමු කරමින්, මෙම වැඩසටහන 2018 වසරේදී විධිමත් ලෙස නැවත ස්ථාපිත කරන ලදී. මෙම නවතම කණ්ඩායම මේ වසරේ අගභාගයේදී ශ්‍රී ලාංකික ප්‍රජාවන් සඳහා සිය සේවාව ආරම්භ කිරීමත් සමඟ, දශක හයකට වැඩි කාලයක් පුරා පැවති එම සම්ප්‍රදාය ඉදිරියට ගෙන යනු ඇත.

ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ශක්තිමත් කිරීම සහ එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර ජනතා සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලාංකික ගුරුවරුන් සහ ප්‍රජාවන් සමඟ එක්ව කටයුතු කිරීමට නියමිත පීස් කෝර් ස්වේච්ඡා සේවකයන් 34 දෙනෙකු ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති එරික් මයර් මහතා විසින් පිළිගනු ලැබීය.