උතුරු පළාතේ මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ජපානය සිය සහාය දීර්ඝ කරයි

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සිදුකරන මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ජපානය ඇමරිකානු ඩොලර් 447,432ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 148ක්) ලබා දී තිබේ. Skavita Humanitarian Assistance and Relief Project (SHARP) මගින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ වර්ග මීටර් 190,000කට වැඩි භූමි ප්‍රමාණයක් බිම් බෝම්බවලින් තොර ප්‍රදේශයක් බවට පත් කිරීමට අපේක්ෂා කෙරේ. එමඟින් පුද්ගලයින් 7,000කට වැඩි පිරිසකට තම ඉඩම් වෙත නැවත පැමිණීමටත්, අවට ප්‍රදේශවල පුද්ගලයින් 11,500කට පමණ තම ආර්ථික කටයුතු පුළුල් කිරීමටත් අවස්ථාව ලැබෙනු ඇත. 2002 වසරේ සිට ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ජපානය ඇමරිකානු ඩොලර් මිලියන 50කට වැඩි සහායක් ලබා දී ඇත.

උතුරු පළාතේ මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ජපානය සිය සහාය දීර්ඝ කරයි

2026 සැප්තැම්බර් මස 29 වන දින, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු අකිඔ ඉසොමත මැතිතුමා, “බිම් මට්ටමේ මානව ආරක්ෂක ව්‍යාපෘති සඳහා වන ආධාර ප්‍රදාන (GGP)” යෝජනා ක්‍රමය යටතේ, ක්‍රියාත්මක වන බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා වූ ප්‍රදාන ගිවිසුමකට, ස්කවිටා මානුෂීය ආධාර සහ සහන ව්‍යාපෘතියේ (SHARP) වැඩසටහන් කළමනාකරු සරත් ජයවර්ධන මහතා සමඟ අත්සන් තැබීය.

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා සහාය වීම පිණිස, SHARP ආයතනය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතියක් සඳහා ජපාන රජය විසින් ඇමරිකානු ඩොලර් 447,432ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 148ක) මුදලක් ලබා දී ඇත. මෙම නව ව්‍යාපෘතිය යටතේ වර්ග මීටර් 190,000කට අධික භූමි ප්‍රමාණයක් බිම් බෝම්බවලින් තොර කලාපයක් බවට පත් කිරීමට අපේක්ෂා කෙරෙන අතර, එමගින් පුද්ගලයින් 7,000කට අධික සංඛ්‍යාවකට තම ඉඩම් වෙත නැවත
පැමිණීමටත්, අවට ප්‍රදේශවල වෙසෙන පුද්ගලයින් 11,500ක් පමණ දෙනාට තම ආර්ථික කටයුතු පුළුල් කර ගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇත. 2002 වසරේ සිට ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ප්‍රධාන පරිත්‍යාගශීලියෙකු ලෙස ජපානය කටයුතු කර ඇති අතර, ඒ සඳහා ඔවුන් ලබා දී ඇති සමස්ත ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 50 ඉක්මවයි.

බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා SHARP ආයතනය දරන නොපසුබට උත්සාහය වෙනුවෙන් සිය හෘදයාංගම කෘතඥතාව පළ කරමින් තානාපති ඉසොමත මැතිතුමා මෙසේ පැවසීය: ශ්‍රී ලංකාවේ ගැටුම්වලින් පසු යථා තත්ත්වයට පත්වීමේ සහ සංහිඳියා ක්‍රියාවලියේ ස්ථාවර හවුල්කරුවෙකු ලෙස, 2002 වසරේ සිට - එනම් සිවිල් යුද්ධය අවසන් වීමටත් පෙර සිට - ගතවූ දශක දෙකහමාරකට ආසන්න කාලය තුළ ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වූ විවිධ බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘති සඳහා ජපානය ඇමරිකානු ඩොලර් මිලියන 50කට අධික මුදලක් ලබා දී ඇත. අද දින සිදු කෙරෙන මෙම ගිවිසුම් අත්සන් කිරීම, ශ්‍රී ලංකාවේ ජනතාවට, විශේෂයෙන්ම ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශවල ජනතාවට අඛණ්ඩව සහාය වීමට ජපානය තුළ ඇති කැපවීම තවදුරටත් තහවුරු කරන සාක්ෂියකි. විවිධ පසුබිම් සහ ප්‍රජාවන්ට අයත් ජනතාව හමුවීම සඳහා උතුරු පළාතේ සිදු කළ මෑතකාලීන සංචාරය පිළිබඳව සඳහන් කරමින් තානාපති ඉසොමත මැතිතුමා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය: උතුරු සහ නැගෙනහිර පළාත්වල සංවර්ධනය පුළුල් පරිමාණයෙන් සිදු කිරීම සඳහා බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මෙන්ම වෙනත් වැඩසටහන් ද වේගවත් කිරීමට නම්, සිවිල් සමාජය, පෞද්ගලික අංශය සහ විදෙස්ගත ප්‍රජාව සම්බන්ධ කරගනිමින් දැනට සිටින පරිත්‍යාගශීලීන්ගෙන් ඔබ්බට ගොස් සහාය ලබා ගැනීමේ පරාසය පුළුල් කරගන්නා ලෙස ශ්‍රී
ලංකා රජය ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් මම ඉල්ලා සිටිමි.


සමස්ත ජාතියේම තිරසාර සංවර්ධනය සඳහා, රට තුළ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් පවතින ප්‍රාදේශීය පරතරයන් මඟහරවා ගැනීමට පුළුල් හා ඒකාබද්ධ ප්‍රවේශයක් ශක්තිමත් කරගැනීම අත්‍යවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මෙම ප්‍රදාන ආධාරය ලැබීම පිළිබඳව අදහස් දක්වමින් SHARP හි වැඩසටහන් කළමනාකරු සරත් ජයවර්ධන මහතා මෙසේ පැවසීය: 2016 වසරේදී SHARP ආයතනයට බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා ජපානයේ GGP වැඩසටහන හරහා මූලික අරමුදල් ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය වෙත SHARP ආයතනය ඉමහත් කෘතඥතාව සහ ස්තූතිය පළ කරයි. එමෙන්ම, 2016 සිට 2021 දක්වා කාලය තුළ SHARP ආයතනයට අරමුදල් සැපයූ එකම පාර්ශවය ලෙස කටයුතු කිරීම සහ 2022 වසරේ සිට මේ දක්වා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස අඛණ්ඩව සහාය දැක්වීම පිළිබඳව ද අපි ජපානයට බෙහෙවින් අගය කරමු.