ආසියානු සහ පැසිෆික් කලාපයේ අනාගතය තීරණය කරනු ලබන්නේ තරුණ ප්‍රජාවට බලාපොරොත්තු තබා ගැනීමට සාධාරණ හේතුවක් තිබේද නැද්ද යන්න මතය
The future of Asia and the Pacific depends on whether young people have hope, opportunities and equal choices, writes UNFPA Regional Director Dr. Aleksandar (Sasha) Bodiroza on World Population Day.
ආසියානු සහ පැසිෆික් කලාපය පුරා සිදුවන ප්‍රජාවිද්‍යාත්මක වෙනස්කම්, වර්තමානයේ ප්‍රතිපත්ති සම්පාදකයින් මුහුණදෙනු ලබන ප්‍රධානතම අභියෝග වලින් එකක් බවට පත්ව ඇත. සමහර රටවල් සාඵල්‍යතා අනුපාතික පහළ යෑම සහ ජනගහනය සීඝ්‍රයෙන් වයස්ගත වීම හේතුවෙන් ඇතිවන අභියෝගවලට මුහුණ දෙමින් සිටී. තවත් සමහර රටවල් විශාල තරුණ ජනගහනයන්වල ශක්‍යතාව උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීමට උත්සාහ දරමින් සිටී. කලාපය පුරා සිදුවෙමින් පවතින ප්‍රජාවිද්‍යාත්මක වෙනස්කම්, ආර්ථික වර්ධනයට, ශ්‍රම වෙළඳපොලට, සෞඛ්‍යසේවා පද්ධතිය සහ සමාජ ආරක්ෂණය සඳහා බලපාන ආකාරය පිළිබඳව විවිධ රජයන් විසින් විමර්ශනයට ලක් කර ඇත.
මෙම ගැටලු අතිශය වැදගත් වූවද, බොහෝ අවස්ථාවලදී මෙම ගැටලු විසඳීමට ගන්නා ප්‍රවේශයන්හී පදනම නිවැරදි නොවේ. ආසියානු සහ පැසිෆික් කලාපයේ අනාගතය, සාඵල්‍යතා අනුපාතික, ජනගහන ප්‍රක්ෂේපණ හෝ වයස් ව්‍යුහයන් මත පමණක් තීරණය නොවේ. එය හැඩගස්වනු ලබන මූලික සාධකයක් වනුයේ තරුණ ප්‍රජාවට අනාගතය පිළිබඳව බලාපොරොත්තුවක් තබා ගැනීමට සාධාරණ හේතුවක් තිබේද යන්න මතය.
බොහෝ අවස්ථාවලදී ප්‍රජාවිද්‍යාත්මක වෙනස්කම් සම්බන්ධයෙන් පවත්වනු ලබන සාකච්ඡාවන්, පුද්ගලයින්ට වඩා සංඛ්‍යා දත්ත කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ලබයි. එහෙත්, සෑම සංඛ්‍යානමය දත්තයක් පසුපසම ඉතාමත් පෞද්ගලික තීරණයන් පවතී. එනම්, වැඩිදුර අධ්‍යාපනය හැදෑරිය යුතුද, සම්බන්ධතාවයක් පටන් ගත යුතුද, දරුවන් බිහි කල යුතුද, තමා දැනට රැඳී සිටින ප්‍රජාව/ප්‍රදේශය තුලම රැඳී සිටිනවාද නැතහොත් වෙනත් ප්‍රදේශයක් කරා සංක්‍රමණය වනවාද යන කරුණු වේ. මෙම තීරණයන් සඳහා පුද්ගලික කැමැත්ත පමණක් නොව, තරුණ ප්‍රජාවට ලැබෙන අවස්ථාවන් සහ දෛනිකව මුහුණ දෙනු ලබන ගැටලුද බලපානු ලබයි.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මඟින් සිදුකරන ලද, මෙවැනි ආකාරයේ විශාලතම අධ්‍යයනවලින් එකක් වන ප්‍රජාවිද්‍යාත්මක අනාගතයන් පිළිබඳ සමීක්ෂණය මඟින් අනාවරණය කරගත් නවතම සාක්ෂි, මහජන සංවාදවල නිතර ඉදිරිපත් වන ඇතැම් උපකල්පනවලට අභියෝග කරයි. මාපියභාවය, පවුල් ජීවිතය සහ සහකාරිත්වය ප්‍රතික්ෂේප කරනු වෙනුවට, බොහෝ තරුණ පිරිස් තවමත් ඒවාට වටිනාකමක් ලබාදන අතර, ඒවා තම අනාගත ජීවිතයේ කොටසක් බවට පත්කර ගැනීමට අපේක්ෂා කරති. බොහෝ පුද්ගලයින් විසින් විවාහය සහ දරුවන්, තමා අනාගතයේ ගොඩනඟා ගැනීමට බලාපොරොත්තුවන ජීවිතයේ අංග ලෙස සළකනු ලබයි. එනමුදු, ඔවුන් බොහෝදෙනෙකු ප්‍රශ්න කරනුයේ, එවැනි අනාගතයක් සැබැවින්ම තමාට ළඟාකර ගැනීමට හැකිවේද යන්නයි.
තරුණ ප්‍රජාව විසින් පවුලක් ආරම්භ කිරීම සඳහා වඩාත් වැදගත්කොට සළකන කොන්දේසි අතර මූල්‍ය ස්ථාවරත්වය, ස්ථීර රැකියාවක් පැවතීම සහ තමා කෙතරම් සූදානම්ද යන්න මූලිකව හඳුනාගත හැකිවේ. එනමුදු, ආසියානු සහ පැසිෆික් කලාපයේ බොහෝ රටවලට මෙම මූලික පදනම සුරක්ෂිත කරගැනීම දිනෙන් දිනම අපහසු වෙමින් පවතී. ඉහළ යන ජීවන වියදම, නිවසක් නොමැති වීම, ආර්ථික අවිනිශ්චිතතාවය සහ ඉහළ යන අසමානතාවයන් හේතුවෙන් තරුණ ප්‍රජාව අපේක්ෂා කරන අනාගතය ගොඩනඟා ගැනීම දුෂ්කර කාර්යයක් බවට පත්වෙමින් ඇත.
බොහෝ තරුණයන් සඳහා අභියෝගය වන්නේ රැකියාව සහ පවුල් ජීවිතය අතරින් එකක් තෝරා ගැනීම නොව, ඒ දෙකම එකවර අත්පත් කර ගැනීමට සැබෑ අවස්ථාවක් හිමිවීමයි. එමෙන්ම, තරුණ ප්‍රජාවේ සියලුදෙනාගේම ජීවන අත්දැකීම් එක හා සමාන නොවේ. සමහර තරුණ ප්‍රජාව රැකියාව සහ පවුල පිළිබඳව පවතින අපේක්ෂාවන් අතර සමබරතාවන් පවත්වා ගැනීමට අරගල කළ ද, දරිද්‍රතාවය, වෙනස්කොට සැලැකීම සහ හානිකර සමාජ සම්මතයන් සහ රීතීන් තේතුවෙන් බෝහෝ පිරිසකට තම ජීවිතය පිළිබඳව අර්ථවත් තේරීම් කිරීමේ අවස්ථාව අහිමි වී ඇත. වර්තමානය වන විටත්, තරුණ කාන්තාවන් වැටුප් නොලබන රැකවරණ කටයුතු සඳහා වැඩි වගකීමක් දරන අතර, ආරක්ෂිත හා යෝග්‍ය රැකියා සඳහා ඇති අසමාන ප්‍රවේශයන් හේතුවෙන් බොහෝ දෙනෙකු සූරාකෑමට, ප්‍රචණ්ඩත්වයට සහ ආර්ථික අනාරක්ෂිතභාවයට ගොදුරුවීමේ අවදානමට මුහුණදෙනු ලබයි.
එබැවින්, තෝරාගැනීමට ඇති අවස්ථාවන් පුළුල් කිරීම සඳහා පුද්ගලයන්ගේ තීරණ පමණක් දිරිගැන්වීම ප්‍රමාණවත් නොවේ. සෑම තරුණ තරුණියකටම ගෞරවය, ආරක්ෂාව සහ සමාන අවස්ථා සහිතව තම අනාගතය තීරණය කර ගැනීමට හැකිවන පරිදි ප්‍රතිපත්ති සහ ආයෝජන ක්‍රියාත්මක වීම අත්‍යාවශ්‍ය වේ.
මීට අමතරව දේශගුණික විපර්යාස මෙම අවිනිශ්චිතතාවයට තවත් මානයක් එක් කරනු ලබයි. ආසියානු සහ පැසිෆික් කලාපය පුරා විසිරී සිටින තරුණ ප්‍රජාව, වැඩිහිටි ජීවිතයට පිවිසෙන්නේ අධික කාලගුණික වෙනස්වීම්, පාරිසරික පිරිහීම් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ජනගහනය අවතැන්වීම ඉහළ යමින් පවතින අවධියකදීය. මේ හේතුවෙන් ඔවුන්ට අනාගතය පිළිබඳව ඇති අවදානම ආර්ථික කරුණු වලට පමණක් සීමා නොවේ.ඔවුන්ට උරුමවන ලෝකය කෙබඳු වේද, එය කුමන ආකාරයේ අවස්ථා තමන්ට ලබාදෙනු ඇත්ද යන්න පිළිබඳව ඔවුහු නිරන්තරයෙන් ප්‍රශ්න කරති.
බලාපොරොත්තු යනු හුදෙක් හැඟීම් පමණක් නොවේ. එය ප්‍රත්‍යස්ත සමාජයක් ගොඩනැඟීමේ මූලික පදනමයි. පුද්ගලයින් තම අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමට නැඹුරු වන්නේ ඔවුන්ට එම අනාගතය ළඟා කරගත හැකි බවට විශ්වාසයක් ඇත්නම් පමණි. තරුණ ප්‍රජාවන්ට, ඉගෙන ගැනීමට, රැකියාවක නිරත වීමට, සමාජයට දායක වීමට සහ සාර්ථක ලෙස ජීවත් වීමට ඇති අවස්ථා පැහැදිලිව දැකගත හැකි විට එම ප්‍රජාවන් වඩාත් ශක්තිමත් වේ. එමෙන්ම, තමන් අපේක්ෂා කරන ප්‍රගතිය තමන්ට ළඟා කරගත හැකි බව ඔවුන්ට අවබෝධ වූ විට ඔරොත්තු දීමේ හැකියාව සහිත තිරසාර සමාජයන් බිහිවේ.
බලාපොරොත්තු අහම්බෙන් ඇති නොවන අතර, සමාන අවස්ථාවන් ඇති කරන සහ සුරක්ෂිතභාවය ශක්තිමත් කරනු ලබන ප්‍රතිපත්ති සහ ආයෝජන හරහා එය සිදුවේ. එය ගුණාත්මක අධ්‍යාපනය, රැකියා අවස්ථාවන්, නිවසක් ලබා ගැනීමට හැකියාවක් තිබීම, ප්‍රවේශවිය හැකි සෞඛ්‍ය සේවා, සමාජ ආරක්ෂණ පද්ධති සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ සමානාත්මතාවය ප්‍රවර්ධනයට ගනු ලබන ක්‍රියාමාර්ග හේතුවෙන් වර්ධනය වේ. තරුණ ප්‍රජාවට තම අයිතිවාසිකම් භාවිත කිරීමට, තම ජීවිතයට බලපාන තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගි වීමට සහ ආයතන තම යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වන බවට විශ්වාසයක් ඇතිවීම එම අපේක්ෂාවන් තව දුරටත්
ශක්තිමත් කරනු ලබයි.
මේ හේතුවෙන් ප්‍රජාවිද්‍යාත්මක ප්‍රතිඵල කෘත්‍රිමව පාලනය කිරීමට උත්සාහ දැරීමෙන් සෞඛ්‍යමත් ජනගහනයක් බිහිකළ නොහැකිය. පුද්ගල අයිතිවාසිකම් සීමා කිරීමෙන් හෝ පෞද්ගලික තීරණ සඳහා බලපෑම් කිරීම හරහා එවැනි සෞඛ්‍යමත් ජනගහනයක් ගොඩනැඟිය නොහැකිය. තරුණ ප්‍රජාව මුහුණ දෙනු ලබන සැබෑ තත්වයන් අවබෝධ කරගැනීමෙන් සහ ඔවුන්ට සාර්ථකව වර්ධනය වීමට අවශ්‍ය අවස්ථා සහ පරිසරය නිර්මාණය කිරීම හරහා ප්‍රජාවිද්‍යාත්මක වෙනස්කම් සඳහා තිරසාර ප්‍රතිඵල ළඟා කර ගත හැකිය. මෙම ලෝක ජනගහන දිනයේදී, ප්‍රජාවිද්‍යාත්මක අනාගතයන් අපට කලින් තීරණය වී ඇති දෙයක් නොවන බව අප මතක තබා ගත යුතු වේ. එය තීරණය විය යුත්තේ අද සමාජය ගන්නා තීරණ මඟිනි. අප හෙට දිනය සඳහා ඔරොත්තු දෙන ආර්ථිකයන්, සාර්ථක ප්‍රජාවන් සහ තිරසාර සංවර්ධනයක් අපේක්ෂා කරන්නේ නම්, තරුණ ප්‍රජාව සඳහා හුදෙක් භිලාෂයන් පමණක් නොව, එම අභිලාෂයන් යථාර්ථයක් කර ගැනීමේ බලාපොරොත්තු සඳහා සාධාරණ හේතුවක්ද ලබා දිය යුතුය.
කර්තෘ පිළිබඳ
ආචාර්ය ඇලෙක්සැන්ඩර් (සාෂා) බොඩිරෝසා මහතා ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය, ප්‍රජනන අයිතිවාසිකම් සහ මානුෂීය වැඩසටහන් ක්ෂේත්‍රයන්හි රටවල්, කලාපීය සහ ගෝලීය මට්ටමින් උපායමාර්ගික පූර්වදැක්ම, නායකත්වය සහ කළමනාකරණය සම්බන්ධයෙන් වසර 27ක පුළුල් වෘත්තීය අත්දැකීම් සහිත විශේෂඥයෙකි. දැනට ඔහු එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ආසියාව සහ පැසිෆික් කලාපය සඳහා වැඩබලන කලාපීය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි. එම තනතුර යටතේ කලාපයේ රටවල් 36ක් පුරා ක්‍රියාත්මක වන UNFPA වැඩසටහන් සඳහා නායකත්වය සපයන අතර, රටවල් මට්ටමේ සහ කලාපීය වැඩසටහන් කාර්යක්ෂමව සහ ඉහළ බලපෑමක් සහිතව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපායමාර්ගික මඟපෙන්වීම ලබා දෙයි.
editor