Freedom 250: ඇමරිකානු සිනමාවේ අපූරු අත්දැකීම් ඔස්සේ ඇමරිකානු තානාපති කාර්යාලය ඇමරිකාවේ 250 වන නිදහස් දිනය සමරයි
The U.S. Embassy in Sri Lanka marked the 250th anniversary of American independence with the Freedom 250 celebration, showcasing American cinema, freedom, culture, and the enduring U.S.-Sri Lanka partnership.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය, ඇමරිකාවේ 250 වන නිදහස් සංවත්සරය නිමිත්තෙන්, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන්, ශ්‍රී ලාංකික හවුල්කරුවන්, රජයේ නිලධාරීන්, ව්‍යාපාරික නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ එක්සත් ජනපදයේ මිතුරන් සිය ගණනක් සමඟ Freedom 250 (ෆරීඩම් 250) සැමරුමක් පැවැත්වීය.
එහිදී ඇමරිකානු සිනමාව ඔස්සේ නිදහසේ කල්පවත්නා බලයට උපහාර පුද කෙරිණි. ජූලි 2 වන දින පැවති මෙම සැමරුම, සියවස් දෙකහමාරක් පුරා එක්සත් ජනපදය හැඩගැස්වූ පරමාදර්ශයන් වන පුද්ගල නිදහස, ස්වයං පාලනය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ නිදහස් මිනිසුන්ට තමන්ගේ අනාගතය පිලිබඳ සිහින දැකීමට, නිර්මාණශීලීව කටයුතු කිරීමට සහ තමන්ගේම අනාගතය හැඩ ගස්වා ගැනීමට ඇති හැකියාව පිළිබඳ විශ්වාසයන් ඉස්මතු කළේය. තානාපති කාර්යාල භූමිය, සජීවී සිනමා අත්දැකීමක් බවට පරිවර්තනය කර තිබූ අතර, ඇමරිකානු චිත්‍රපට නිදහසේ වටිනාකම් පිළිබිඹු කළ ආකාරයත්, ශ්‍රී ලංකාව ඇතුළුව ලොව පුරා පරම්පරා ගණනාවක ප්‍රේක්ෂකයන්ට ප්‍රබෝධය ලබා දුන් ආකාරයත් එමඟින් සමරනු ලැබිණි.
සැමරුමට පැමිණි අමුත්තන් පිළිගනිමින්, වැඩ බලන තානාපති ජේන් හොවෙල් මහත්මිය ඇමරිකානු නිදහස සහ සිනමාව තුළින් කතාන්දර පැවසීම අතර ඇති ගැඹුරු සම්බන්ධතාව පිළිබඳ සිය අදහස් පළ කළාය. අද රාත්‍රියේ, අපි ඇමරිකානු නිදහසේ 250 වන සංවත්සරය සමරන්නේ, අපේ ජාතිය ලෝකයට දායාද කළ ශ්‍රේෂ්ඨතම දායාදයන්ගෙන් එකක් වන සිනමා කලාවට ගෞරව දක්වමිනි, ඇය පැවසුවාය.
සියවසකට වැඩි කාලයක් තිස්සේ ඇමරිකානු චිත්‍රපට නිර්මාණකරුවන් සිය නිර්මාණාත්මක නිදහස යොදා ගනිමින්, දේශසීමා සහ සංස්කෘතික සීමාවන් ඉක්මවා මිනිසුන්ගේ සිත් සසල කරන කතා නිර්මාණය කර තිබෙනවා. 1896දී නිව් ඕර්ලියන්ස්හි සිනමා දර්ශන සඳහාම වෙන් වූ ලොව ප්‍රථම සිනමා ශාලාව විවෘත කිරීමේ සිට, Snow White හි නව්‍ය සජීවිකරණය දක්වාත්, The Godfather වැනි විශිෂ්ට මහා පරිමාණ චිත්‍රපටවල සිට Avatar, Star Wars සහ Jurassic Park හි තාක්ෂණික විස්කම් දක්වාත්, ශ්‍රී ලංකාවේ රූගත කර දිවයින හොලිවුඩ් ඉතිහාසයට සදාකාලිකව සම්බන්ධ කර තැබූ The Bridge on the River Kwai වැනි සම්භාව්‍ය චිත්‍රපට දක්වාත්, අපගේ චිත්‍රපට අද අප සමරන නිදහසම පිළිබිඹු කරනවා — එනම් නිර්භීතව සිහින දැකීමටත්, ගැඹුරින් ප්‍රශ්න කිරීමටත්, නව හැකියාවන් පරිකල්පනය කිරීමටත් ඇති නිදහසයි .
මෙම සිනමා චාරිකාව අපගේ ශ්‍රී ලාංකික මිතුරන් සමඟ - ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස උදෙසා එක්ව පෙනී සිටින සෙසු සගයන් සමඟ - බෙදා ගන්නා විට, හොඳම ඇමරිකානු කතා විශ්වීය කතා බව අපට මතක් වෙනවා," වැඩ බලන තානාපති හොවෙල් මහත්මිය තවදුරටත් පැවසුවාය.
ඒවා The Wizard of Oz චිත්‍රපටයේ දක්නට ලැබෙන ධෛර්යය, The Avengers චිත්‍රපටයේ දක්නට ලැබෙන එකමුතුකම, E.T. චිත්‍රපටය තුළින් අත්විඳිය හැකි ආශ්චර්යය, Apollo 11 වැනි චිත්‍රපටවල ග්‍රහණය කර ඇති ගවේෂණය සහ ජයග්‍රහණය වෙනුවෙන් ඇති ආත්මීය හැඟීම, සහ Forrest Gump චිත්‍රපටයේ අප අගය කරන ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳව කතා කරනවා. අද රාත්‍රියේ අපි සමරන්නේ ඇමරිකානු සිනමාව පමණක් නොව, එයට හැකියාව සලසන නිදහසද වේ— එනම් ඕනෑම කතාවක් කීමට, ඇමරිකාවේ යහපත්ම සහ සංකීර්ණතම අංශ පෙන්වීමට, සහ චිත්‍රපට මඟින් අප අපවමත් එකිනෙකාත් දකින ආකාරය වෙනස් කළ හැකි බව
විශ්වාස කිරීමට ඇති නිදහසයි. මෙම 250 වන සංවත්සරයේදී අපි ගරු කරන්නේ එම නිදහසටත්, අපව ඉදිරියට මෙහෙයවන කල්පවතින වටිනාකම්වලටත්ය.”
සන්ධ්‍යාව ආරම්භ වූයේ විශ්මයජනක දෘශ්‍ය දර්ශනයකිනි: තානාපති කාර්යාල ගොඩනැගිල්ලේ වහල මත ස්ථාපිත කළ තිරවලින්, ඇමරිකානු නිදහසේ වසර 250ක් සමරමින් සහ 1776 ජූලි 4 වන දින නිදහස් ප්‍රකාශනය අත්සන් කිරීම සිහිපත් කරන දර්ශන එහිදී ප්‍රදර්ශනය කෙරිණි. මෙහි කේන්ද්‍රීය අංගය වූයේ තරු පිරි රැයක එළිමහනේ පැවැත් වූ සිනමා දර්ශනයක් වූ අතර, ප්‍රවේශමෙන් සකස් කරන ලද දර්ශන ඛණ්ඩයන් මඟින් ඇමරිකානු සිනමාවේ පරිණාමය එහිදී ඉදිරිපත් කෙරිණි—අදටත් භාවිතා වන දෘශ්‍ය කතාන්දර කීමේ ශිල්පීය ක්‍රම ස්ථාපිත කළ නිහඬ චිත්‍රපටවල සිට, ඩිස්නි හි Snow White and the Seven Dwarfs (පළමු පූර්ණ සජීවිකරණ
චිත්‍රපටය), The Matrix හි පෙරළිකාර “bullet time” ප්‍රයෝග, සහ යුක්තිය හා සමාජය පිළිබඳ සංකීර්ණ ප්‍රශ්න ගවේෂණය කිරීම සඳහා සුපිරි වීර සිනමාව නැවත අර්ථ දැක්වූ ක්‍රිස්ටෝපර් නෝලන්ගේ The Dark Knight දක්වා වූ දර්ශනයන් මෙහිදී ඉදිරිපත් කෙරිණි.
ජපානයේ ඔකිනාවාහි පිහිටි ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද මැරීන් බළකායේ ඉදිරිපෙළ ස්ථානගත වූ තූර්ය වාදක කණ්ඩායම වන III මැරීන් ගවේෂණ බලකා තූර්ය වාදක කණ්ඩායම විසින් පරම්පරා රැසකට ආස්වාදය ලබා දුන් ඇමරිකානු ගීත එකතුවක් ඉදිරිපත් කරමින්, කොළඹ අහස ආලෝකමත් කළ ගිනිකෙළි සංදර්ශනයක් සමඟ සැමරුම අවසන් විය. ඇමරිකානු කෘෂිකාර්මික අපනයනවල ගෝලීය කීර්තිය ප්‍රදර්ශනය කරමින්, උසස් තත්ත්වයේ එක්සත් ජනපද ගව මාංශ සහ අනෙකුත් ඇමරිකානු ආහාර පාන ඇතුළත් භෝජන සංග්‍රහයක් පැමිණ සිටි අමුත්තෝ රස වින්දහ.
එක්සත් ජනපදය නිදහසේ වසර 250ක් සනිටුහන් කරන විට, Freedom 250 සමරන්නේ 1776 සිට ඇමරිකාව නිර්වචනය කර ඇති කල්පවතින අදහසයි—එනම් නිදහස මානව විභවය විවෘත කරයි, නිර්මාණශීලිත්වය සහ නවෝත්පාදනය පෝෂණය කරයි, සහ වඩා හොඳ අනාගතයක් ගොඩනඟා ගැනීමට පුද්ගලයන්ට බලය ලබා දෙයි. අධ්‍යාපනය, වෙළඳාම, ආයෝජනය, ආරක්ෂක සහයෝගීතාව සහ අපගේ ජනතාව අතර පවතින කල්පවතින සබඳතා තුළින්, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අවස්ථා සහ හවුල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් මත ගොඩනැගුණු හවුල්කාරිත්වය දිගටම ශක්තිමත් කරමින් පවතී.
මෙම වසරේ නිදහස් දින සැමරුම සාර්ථක කරගැනීමට දායක වූ ඩයමන්ඩ් අනුග්‍රාහකයින් වන බ්‍රැන්ඩික්ස්, හේලීස්, හයිඩ්රාමනී, මාස් හෝල්ඩින්ග්ස්, මාස්ටර්කාඩ්, ආර්එම් පාර්ක්ස් සහ වීසා ඇතුළු අපගේ අනෙකුත් අගනා හවුල්කරුවන්ට එක්සත් ජනපද තානාපති කාර්යාලය සිය අවංක කෘතඥතාව පළ කරයි.
editor