කෘෂිකාර්මික වෙළඳාම සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කරමින් මොන්ටානා ආණ්ඩුකාර ග්‍රෙග් ජියන්ෆෝර්ටේ ශ්‍රී ලංකාවේ සංචාරයකට
ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්ත ආණ්ඩුකාර ග්‍රෙග් ජියන්ෆෝර්ටේ, පළමු කාන්තාව වන සුසන් ජියන්ෆෝර්ටේ සහ මොන්ටානා ප්‍රාන්ත නියෝජිත පිරිසක් සමඟ ඔක්තෝබර් 9 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඇමරිකානු කෘෂිකාර්මික අපනයන සඳහා නව වෙළඳ අවස්ථා පුළුල් කිරීම සහ මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ State Partnership Program හරහා ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණු වේ. මොන්ටානාහි නිෂ්පාදනය වන කඩල, පරිප්පු සහ වියළි මුං ඇතුළු ධාන්‍ය හා පල්ස් නිෂ්පාදන සඳහා වෙළඳ අවස්ථා මෙන්ම ආපදා ප්‍රතිචාර, සාගර ආරක්ෂාව, සමුද්‍රීය වසම් දැනුවත්භාවය සහ වෘත්තීය හමුදා අධ්‍යාපනය සම්බන්ධ සහයෝගීතාව පිළිබඳවද අවධානය යොමු කෙරේ.
කොළඹ, 2026 ඔක්තෝබර් 8 – මොන්ටානා ආණ්ඩුකාර ග්‍රෙග් ජියන්ෆෝර්ටේ මහතා, ඔහුගේ බිරිඳ වන සුසන් ජියන්ෆෝර්ටේ මහත්මිය සහ මොන්ටානා ප්‍රාන්ත නියෝජිත පිරිසක් සමඟ ඔක්තෝබර් 9 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරයේදී ඇමරිකානු කෘෂිකාර්මික අපනයන සඳහා නව අවස්ථා පුළුල් කිරීම සහ මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන හරහා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරේ. එක්සත් ජනපදයේ වයඹදිග ප්‍රදේශයේ පිහිටි මොන්ටානා ප්‍රාන්තය, විශාල විවෘත භූමි ප්‍රදේශ, සාරවත් කෘෂිකාර්මික ඉඩම් සහ රොකී කඳු ශිඛර සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.
මොන්ටානා යනු කඩල, පරිප්පු සහ වියළි කඩල වැනි රනිල භෝග නිෂ්පාදනය අතින් එක්සත් ජනපදයේ ප්‍රමුඛස්ථානය ගන්නා ප්‍රාන්තයයි. මොන්ටානාහි වගා කරන රනිල භෝග සඳහා නව වෙළඳපොළ අවස්ථා සොයා බැලීමටත්, ඇමරිකානු ගොවීන් සඳහා නව අවස්ථා පුළුල් කිරීමටත්, ශ්‍රී ලාංකික ව්‍යාපාර සමඟ වාණිජ සබඳතා ශක්තිමත් කිරීම සඳහාත් නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ රනිල භෝග ආනයනකරුවන් සහ වෙළෙඳ ව්‍යාපාරිකයන් හමුවීමට සැලසුම් කරයි.
“මොන්ටානාහි ගොවිබිම්වල සිට ශ්‍රී ලංකාවේ ඉන්දියානු සාගර වෙරළ තීරය දක්වා විහිදෙන මෙම හවුල්කාරිත්වය, ආර්ථික අවස්ථා සහ පොදු ආරක්ෂක අරමුණු එකට සම්බන්ධ කරයි,” යනුවෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති එරික් මයර් මහතා පැවසීය. “ඇමරිකානු ගොවීන් සඳහා නව අවස්ථා නිර්මාණය කරමින් සහ අප දෙරටටම ප්රතිලාභ සැලසෙන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් පැමිණෙන ජියන්ෆෝර්ටේ ආණ්ඩුකාරතුමා, ඔහුගේ බිරිඳ වන සුසන් ජියන්ෆෝර්ටේ මැතිණිය සහ මොන්ටානා නියෝජිත පිරිස පිළිගැනීමට අපි බලාපොරොත්තුවෙන් සිටිමු.”
2021 වසරේ සිට මොන්ටානා සහ ශ්‍රී ලංකාව අතර පවත්වාගෙන යන රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන (State Partnership Program) හරහා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, මොන්ටානාහි ඇජුටන්ට් ජනරාල් සහ මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ජෙනරාල් ට්‍රෙන්ටන් ගිබ්සන් ද ආණ්ඩුකාරවරයාගේ නියෝජිත පිරිස සමඟ මෙම සංචාරයට සහභාගී වනු ඇත. 2025 වසරේදී, ආපදා ප්‍රතිචාර දැක්වීම, සමුද්‍රීය ක්ෂේත්රය පිළිබඳ දැනුවත්භාවය සහ වෘත්තීය හමුදා අධ්‍යාපනය යන ක්ෂේත්රවල සහයෝගීතාව විධිමත් කර පුළුල් කිරීම සඳහා මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය සහ ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූහ.
මෙම හවුල්කාරිත්වය මගින් මොන්ටානා සහ ශ්‍රී ලංකාව අතර කල්පවත්නා සබඳතා ගොඩනගන අතරම, ආපදා සඳහා සූදානම් වීමේ හැකියාව, සමුද්‍රීය ආරක්ෂාව සහ හමුදා සාමාජිකයින්ගේ වෘත්තීය කුසලතා ද ශක්තිමත් කෙරේ. ආණ්ඩුකාරවරයාගේ මෙම සංචාරය එම සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරන අතර, කෘෂිකාර්මික වෙළඳාම සඳහා නව අවස්ථා උදා කර දෙනු ඇත.
ග්‍රෙග් ජියන්ෆෝර්ටේ එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තයේ ආණ්ඩුකාරතුමා
උසස් පාසල් සිසුවෙකුව සිටියදී සිය පළමු ව්‍යාපාරය ආරම්භ කළ ග්‍රෙග් ජියන්ෆෝර්ටේ ආණ්ඩුකාරතුමා, සිය වෘත්තීය ජීවිතය පුරා රැකියා උත්පාදනය සඳහා කටයුතු කර ඇත. 1997 වසරේදී, ග්‍රෙග් සහ සුසන් ජියන්ෆෝර්ටේ යුවළ බොස්මන් (Bozeman) හි පිහිටි සිය නිවසේ සිට ‘RightNow Technologies’ සමාගම ආරම්භ කළ අතර, එය එම නගරයේ විශාලතම පෞද්ගලික රැකියා සපයන්නා බවට පත් කරමින් මොන්ටානා ප්‍රාන්තයේ ඉහළ වැටුප් සහිත රැකියා 500කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කළහ.
පෞද්ගලික අංශයේ වසර 34ක සේවා කාලයකින් පසු, ග්‍රෙග් ජියන්ෆෝර්ටේ මහතා 2020 නොවැම්බර් මාසයේදී මොන්ටානා ප්‍රාන්තයේ 25 වැනි ආණ්ඩුකාරවරයා ලෙස තේරී පත් විය. එහිදී ඔහු මොන්ටානා ඉතිහාසයේ ආණ්ඩුකාර ධුර අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව වාර්තා කළ අතර, 1920 වසරෙන් පසු පළමු වරට ආණ්ඩුකාර ධුරයට තේරී පත් වූ අපේක්ෂකයෙකු ලැබූ විශාලතම ජයග්‍රාහී පරතරය ද වාර්තා කළේය. 2024 නොවැම්බර් මාසයේදී නැවත තේරී පත් වූ ජියන්ෆෝර්ටේ ආණ්ඩුකාරතුමා,1996 වසරෙන් පසු මොන්ටානා ප්‍රාන්තයේ දෙවැනි ධුර කාලයක් සඳහා බලයට පත් වූ රිපබ්ලිකන් පක්ෂයේ පළමු ආණ්ඩුකාරවරයා වේ.
ව්‍යාපාරිකයෙකු සහ ව්‍යවසායකයෙකු ලෙස ආණ්ඩුකාර ජියන්ෆෝර්ටේ මහතා සතු අත්දැකීම් මත පදනම්ව, මොන්ටානා වැසියන් සඳහා අවස්ථා පුළුල් කිරීම, හොඳ වැටුප් සහිත රැකියා උත්පාදනය කිරීම සහ මොන්ටානාහි ජීවන රටාව ආරක්ෂා කිරීම කෙරෙහි ඔහු අවධානය යොමු කරයි.
ජියන්ෆෝර්ටේ ආණ්ඩුකාරතුමා ඓතිහාසික මට්ටමේ බදු අඩු කිරීම් සිදු කිරීම, මොන්ටානා ප්‍රාන්තය ණයවලින් නිදහස් කිරීම, අධ්‍යාපනය සඳහා වාර්තාගත මට්ටමේ අරමුදල් වෙන් කිරීම, ගුරු වැටුප් ඉහළ නැංවීම, නීතිය ක්‍රියාත්මක කරන ආයතන සඳහා අරමුදල් වැඩි කිරීම සහ අක්කර 100,000කට අධික පොදු ඉඩම් සඳහා මහජනතාවට ප්‍රවේශය පුළුල් කිරීම ඇතුළු පියවර ගෙන ඇත.
ජියන්ෆෝර්ටේ ආණ්ඩුකාරතුමාගේ නායකත්වය යටතේ, මොන්ටානා ප්‍රාන්තයේ මෙතෙක් වාර්තා වූ ඉහළම සංඛ්‍යාවක ජනතාවක් රැකියාවල නිරතව සිටින අතර, විරැකියා අනුපාතය ද වාර්තාගත අවම මට්ටමක පවතී. එසේම, රැකියා සහ ව්‍යාපාර බිහි කිරීම සම්බන්ධයෙන් මොන්ටානා ප්‍රාන්තය නව වාර්තා පිහිටුවා ඇත.
1988 වසරේදී විවාහ වූ ග්‍රෙග් සහ සුසන් ජියන්ෆෝර්ටේ යුවළ, මොන්ටානා ප්‍රාන්තයේ පොදු ඉඩම්වල දඩයම් කිරීම, මසුන් ඇල්ලීම, ඔරු පැදීම, කඳු නැගීම, ස්කීං ක්‍රීඩාවල නිරත වෙමින් බොස්මන්හිදී සිය දරුවන් සිව්දෙනා ඇති දැඩි කළහ.
එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ග්‍රෙග් ජියන්ෆෝර්ටේ මහතාගේ නිල ඡායාරූපය.
ග්‍රෙග් ජියන්ෆෝර්ටේ ආණ්ඩුකාරතුමාගේ සහ ඔහුගේ බිරිඳ වන සුසන් ජියන්ෆෝර්ටේ මහත්මියගේ ඡායාරූපය.
editor