ශ්‍රී ලාංකික සිසුවියකගේ අභ්‍යවකාශ සිහිනය සැබෑ කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය ‘ShakthiSAT’ මෙහෙයුමට සහාය වෙයි
‘ShakthiSAT’ ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන සෙනීසා ගුණවර්ධන සහ ශ්‍රී ලංකාව සඳහා එහි තානාපති ආචාර්ය සුලෝචනා සේගේරාගේ ඉන්දීය සංචාරයට ශ්‍රීලංකන් ගුවන් සේවය සහාය ලබා දෙයි.
20 අගෝස්තු 2026, කොළඹ – රටවල් 108ක සිසු දැරියන් එක්ව ප්‍රථම වරට චන්ද්‍රිකාවක් සැලසුම් කර නිර්මාණය කිරීමේ පෙරළිකාර ව්‍යාපෘතියකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවේ නිල ශිෂ්‍ය නියෝජිත සනීසා ගුණවර්ධන සහ ශ්‍රී ලංකාව සඳහා ShakthiSAT (Devi) තානාපති ආචාර්ය සුලෝචනා සේගෙරා වෙත ඉන්දියාවට යාමට අවශ්‍ය පහසුකම් සලසා දෙමින්, 'Mission ShakthiSAT' චාරිකාව සාර්ථක කර ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය (SriLankan Airlines) අනුග්‍රහය දක්වයි. තරුණ පරපුරේ සිහින සැබෑ කරගැනීම සඳහා ඔවුන්ව සවිබල ගැන්වීම, ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සමාජ වගකීම් වැඩසටහන්වල මූලික අරමුණක් වී ඇත. වසර ගණනාවක් පුරා ග්‍රාමීය ප්‍රදේශවල පාසල් ඇතුළු පාසල් රැසක් සමඟ එක්ව කටයුතු කරමින්, දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය වඩාත් යහපත් කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය දායක වී ඇත.
අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳව හඳුන්වා දීම සඳහා සකස් කරන ලද විශේෂිත STEM (විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත) අධ්‍යාපන වැඩසටහන සඳහා ශ්‍රී ලාංකික පාසල් සිසුවියන් 200කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ ඉතා තරගකාරී ජාතික තේරීම් ක්‍රියාවලියකින් අනතුරුව සෙනීසා ගුණවර්ධන තෝරා ගන්නා ලදී. මෙම වැඩසටහන ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දෙන ලද්දේ “Space Kidz India” හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනිය වන ආචාර්ය ශ්‍රීමති කේසන් (Dr. Srimathy Kesan) විසිනි. ලොව විශාලතම අධ්‍යාපනික චන්ද්‍රිකා සහ අභ්‍යවකාශ යානා වැඩසටහන් මෙහෙයවීම සම්බන්ධයෙන් ඇය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්ව සිටී.
Mission ShakthiSAT හි මීළඟ අදියර 2026 අගෝස්තු 22 සිට 31 දක්වා ඉන්දියාවේ ‘Gautam Buddha University’ හිදී පැවැත්වීමට නියමිත අතර, එහිදී ජාත්‍යන්තර ශිෂ්‍ය නියෝජිතයින් එක්ව උසස් මට්ටමේ චන්ද්‍රිකා ඒකාබද්ධ කිරීමේ කටයුතු, නායකත්ව සංවර්ධන වැඩසටහන්, සංස්කෘතික හුවමාරු වැඩසටහන් සහ ජාත්‍යන්තර STEM වැඩසටහන් සඳහා සහභාගී වනු ඇත. චන්ද්‍රිකාව 2026 සැප්තැම්බර් සහ ඔක්තෝබර් අතර කාලය තුළ අභ්‍යවකාශගත කිරීමට අපේක්ෂා කෙරේ.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකාර දීපාල් පෙරේරා මහතා මෙසේ පැවසීය. “මෙම සුවිශේෂී ගමනේදී සෙනීසා ගුණවර්ධන සහ ආචාර්ය සුලෝචනා සේගේරාට සහාය වීමට සහ ShakthiSAT මෙහෙයුමට ශ්‍රී ලංකාවේ සහභාගීත්වයට දායක වීමට ලැබීම ගැන අපි සතුටු වෙමු. සෙනීසා දියණියගේ ජයග්‍රහණය දිවයින පුරා සිටින අපගේ දරුවන්ට අධිෂ්ඨානයෙන් හා නොපසුබට උත්සාහයෙන් තම ඉලක්ක සපුරා ගත හැකි බව විශ්වාස කිරීමට පෙළඹෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ඉගෙනීමට, ඔවුන්ගේ අභිලාෂයන් අරමුණක් ඇතිව හඹා යාමට සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගැනීමට අපි සිසු දරුවන් දිරිමත් කරන්නෙමු. ජාතික ගුවන් සේවය ලෙස, මෙම පුරෝගාමී මෙහෙයුමට සහාය වීමටත්, අභ්‍යවකාශ ගවේෂණය සම්බන්ධ ජාත්‍යන්තර වේදිකාවක ශ්‍රී ලාංකික දායකත්වය ලබාදීමට හැකිවීම දැකීමත් අපට මහත් ආඩම්බරයක් .”
මෙම අවස්ථාව පිළිබඳ සිය උද්යෝගය පළ කරමින් සනීසා ගුණවර්ධන පැවසුවේ, “ShakthiSAT අභ්‍යවකාශ ගමනේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තෝරා ගැනීම සැබෑවූ සිහිනයක් වගේම, මෙම ජාත්‍යන්තර මෙහෙයුමේදී මගේ රටේ නම රැගෙන යාම පිළිබඳව මට ඉමහත් ආඩම්බරයක් දැනෙනවා. වයස අවුරුදු 18ක් වන මට, මෙම අත්දැකීම මගින් අපි සිහින දැකීමට නිර්භීත වන විට තරුණියන්ට ළඟා විය හැකි දේවල් සඳහා සීමාවක් නොමැති බව නැවතත් සිහිපත් කරනවා. අපගේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ගමන් කරමින් මෙම ගමන ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව ද මම ආඩම්බර වෙනවා. විද්‍යාව, තාක්ෂණය සහ අභ්‍යවකාශ ක්ෂේත්‍රය වෙත යොමු වීමටත්, තමන්ටත් තාරකා වෙත ළඟා විය හැකි බව විශ්වාස කිරීමටත් ශ්‍රී ලාංකික තරුණියන්ව දිරිමත් කිරීමට මගේ මෙම ගමන හේතු වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.” යනුවෙනි.
ආචාර්ය සුලෝචනා සේගෙරා මෙසේ පැවසුවාය: "මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ගෙන ඒමටත්, අපේ දැරියන්ට අහසටත් එහා ගිය සිහින දැකීමට මඟ විවර කර දීමටත් ලැබීම ගැන මම ඉමහත් සතුටට පත්වෙමි. 'ShakthiSAT' යනු හුදෙක් එක් වැඩසටහනක් හෝ මෙහෙයුමක් පමණක් නොව, එය දිගුකාලීන ගමනක ආරම්භයයි. STEM අධ්‍යාපනය යනු අපේ රටට එක් විකල්පයක් පමණක් නොවිය යුතුය, එය අපගේ අධ්‍යාපන ක්‍රමයේ අත්‍යවශ්‍ය අංගයක් විය යුතුය. ශ්‍රී ලංකාව වෙනුවෙන් 'ShakthiSAT' තානාපතිනිය ලෙස කටයුතු කරන මට, මා මීට මාස පහකට පෙර ගත් කුඩා පියවරක ප්‍රතිඵලයක් ලෙස 'ජාත්‍යන්තර දැරියන්ගේ දිනය' (International Day of the Girl Child) දා සඳ මත ශ්‍රී ලංකා ධජය සවිකෙරෙනු දැකීම ඉමහත් ආඩම්බරයට කරුණකි. එමෙන්ම, අපගේ ජාතික ගුවන් සේවය වන 'ශ්‍රීලංකන් එයාර්ලයින්ස්' (SriLankan Airlines) සමඟ එක්ව මෙම ගමන ආරම්භ කිරීමට ලැබීම පිළිබඳවද අපි ඉමහත් ආඩම්බරයට පත්වෙමු."
දරුවන්ට ගුවන් සේවා ක්‍ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට අවස්ථා නිර්මාණය කිරීමේ සිට අධ්‍යාපනික ක්ෂේත්‍ර චාරිකා සඳහා සහාය වීම, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා පහසුකම්, ඉගෙනුම් ආධාරක සහ පාසල් උපකරණ ලබා දීම, යහපැවැත්ම පිළිබඳ වැඩමුළු සංවිධානය කිරීම සහ පාසල් තුළ ක්‍රීඩා කුසලතා සංවර්ධනයට සහාය වීම දක්වා ශ්‍රීලංකන් ගුවන් සේවය අධ්‍යාපනය සහ තරුණ සංවර්ධනය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී සිටී. අද වන විට, STEM අධ්‍යාපනය සඳහා ප්‍රවේශය පුළුල් කරමින් විශේෂයෙන් ගැහැණු ළමයින්ට, ඔවුන් සිතූ සීමාවන් ඉක්මවා හැකියාවන් ගවේෂණය කිරීමට පෙළඹවීම සඳහා ක්‍රියාත්මක මෙම පුරෝගාමී ගෝලීය ව්‍යාපෘතියේ කොටස්කරුවෙකු වීමට ලැබීම පිළිබඳව ශ්‍රීලංකන් ගුවන් සේවය අද ආඩම්බර වේ.
ශ්‍රීලංකන් ගුවන් සේවය, codeshare හවුල්කාරිත්වයන් ද ඇතුළුව රටවල් 63ක් පුරා පිහිටි ගමනාන්ත 130ක් වෙත මගීන් සම්බන්ධ කරන අතර, සිය ගුවන් මෙහෙයුම් ජාලය යුරෝපය, ඕස්ට්‍රේලියාව, මැද පෙරදිග, ඉන්දීය උප මහාද්වීපය, අග්නිදිග ආසියාව සහ දුරස්ථ පෙරදිග (Far East) යන කලාප ආවරණය කරයි. ගුවන් සේවය A330-200/300 සහ A320/321 ගුවන් යානාවලින් සමන්විත, සම්පූර්ණයෙන්ම 'එයාර්බස්' (Airbus) යානා පමණක් ඇතුළත් ඇණියක් මගින් සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.
වැඩිදුර තොරතුරු සහ වෙන් කිරීම් සඳහා www.srilankan.com වෙත පිවිසෙන්න, නැතහොත් සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වන්න.
Space Kidz India පිළිබඳව
Space Kidz India (SKI) යනු ඉන්දියාවේ ප්‍රමුඛතම අභ්‍යවකාශ අධ්‍යාපන සංවිධානයක් වන අතර ආචාර්ය ශ්‍රීමතී කේසන් විසින් ආරම්භ කරන ලද නැගී එන අභ්‍යවකාශ ආරම්භක ආයතනයකි. KalamSAT සහ AzaadiSAT ඇතුළු සාර්ථක අභ්‍යවකාශ මෙහෙයුම් 27ක් හරහා Space Kidz India, චන්ද්‍රිකා ඉංජිනේරු විද්‍යාව, අභ්‍යවකාශ විද්‍යාව, නවෝත්පාදනය සහ ජාත්‍යන්තර සහයෝගීතාවයට ප්‍රායෝගික අත්දැකීම් ලබා දීමෙන් මිලියන ගණනක් සිසුන්ට දැනුම ලබා දී ඇත. අද වන විට Space Kidz India ලොව පුරා රජයන්, විශ්වවිද්‍යාල, කර්මාන්ත, රාජ්‍ය තාන්ත්‍රිකයන්, විද්‍යාඥයන් සහ අධ්‍යාපනඥයන් සමඟ එක්ව සෑම දරුවෙකුටම අභ්‍යවකාශ අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා කටයුතු කරයි.
Mission ShakthiSAT පිළිබඳව
Mission ShakthiSAT යනු ලොව ප්‍රථම ගැහැණු ළමයින් පමණක් සහභාගීත්වයෙන් සිදු කෙරෙන චන්ද්‍ර චන්ද්‍රිකා මෙහෙයුමයි. රටවල් 100කට අධික සංඛ්‍යාවක ගැහැණු ළමයින් 12,000ක් මෙම මෙහෙයුම සඳහා එක් කර ගනිමින්, ජාත්‍යන්තර විද්‍යාත්මක, තාක්ෂණික, රාජ්‍ය තාන්ත්‍රික සහ නවෝත්පාදන සහයෝගීතාව ප්‍රවර්ධනය කරන අතරම, ඔවුන්ට චන්ද්‍රිකා ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා දේ. Mission ShakthiSAT යනු හුදෙක් චන්ද්‍රිකා මෙහෙයුමකට වඩා බොහෝ සෙයින් පුළුල් වූ ගෝලීය ව්‍යාපාරයකි. අධ්‍යාපනය, ඉංජිනේරු විද්‍යාව, සාමය සහ විද්‍යාත්මක සහයෝගීතාව ඔස්සේ ජාතීන් එක් කරමින්, අභ්‍යවකාශ සහ නැගී එන තාක්ෂණ ක්ෂේත්‍රවල ඊළඟ පරපුරේ කාන්තා නායකයින් බිහි කිරීමට මෙම මෙහෙයුම අභිප්‍රේරණයක් ලබා දෙයි.
තාක්ෂණික විශේෂාංග
· චන්ද්‍රිකා ස්ථාපනය කිරීම : 12U Lunar Satellite
· මෙහෙයුම: Lunar Payload Demonstration
· ඉංජිනේරු ආකෘති: වැඩසටහන අතරතුරදී payload ඉංජිනේරු ආකෘති තුනක් සැලසුම් කර ඒකාබද්ධ කිරීමට නියමිතය.
· ජාත්‍යන්තර Payload සංවර්ධන හවුල්කරුවන්:
o University – Australia
o University of South Alabama – USA
o Embry-Riddle Aeronautical University – USA
o Shamal Space – Brazil
o SMW Engineering – Lesotho
o Egyptian Space Agency – Egypt
වැඩසටහන් කාලසටහන
· 22 අගෝස්තු – ජාත්‍යන්තර නියෝජිතයින්ගේ පැමිණීම
· 23 අගෝස්තු – ජාතික අභ්‍යවකාශ දිනය සැමරුම් වැඩසටහන, වැඩසටහන් හඳුන්වාදීම සහ ජාත්‍යන්තර කණ්ඩායම් පිහිටුවීම
· 24 අගෝස්තු – නිල මෙහෙයුම් සමාරම්භය, ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික හමුව හා පිළිගැනීම, CubeSAT වැඩමුළු, තාක්ෂණික ඉදිරිපත් කිරීම්, විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් සමඟ අන්තර් ක්‍රියාකාරකම් සහ සංස්කෘතික සන්ධ්‍යාව
· 25 අගෝස්තු – ජාත්‍යන්තර සහභාගිවන්නන්ගේ දායකත්වයෙන් යුත් යෝග සහ භාවනා සැසි සහ සංස්කෘතික වැඩසටහන
· 26 අගෝස්තු – Payload සැලසුම් වැඩමුළු, චන්ද්‍ර මෙහෙයුම් වැඩමුළු සහ ඉංජිනේරු සැසි
· 27 අගෝස්තු – ඉංජිනේරු ආකෘති ඒකාබද්ධ කිරීමේ කටයුතු සහ යෝජිත කර්මාන්තශාලා සංචාරය
· 28 අගෝස්තු – Global Women Leadership & Diplomacy Summit, ඉංජිනේරු ආකෘති සමාලෝචනය, තාක්ෂණික වාර්තාමය වැඩසටහන් රූගත කිරීම, උපාධි සහ සම්මාන ප්‍රදානෝත්සවය සහ යෝජිත නිල රාත්‍රී භෝජන සංග්‍රහය
· 29 අගෝස්තු – ශිෂ්‍ය ඇගයීම සහ “Space Meets Fashion” – ජාත්‍යන්තර නවෝත්පාදන ප්‍රදර්ශනය
· 30 අගෝස්තු – සංස්කෘතික සංචාරය සහ දර්ශනීය ස්ථාන නැරඹීම
· 31 අගෝස්තු – ජාත්‍යන්තර නියෝජිතයින්ගේ පිටත්වීම
editor