සමුද්‍රීය ආරක්ෂාව සහ කලාපීය සූදානම ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව CARAT 2026 (සහයෝගීතාව, සූදානම සහ පුහුණුව) අභ්‍යාසය ආරම්භ කරයි.

CARAT 2026, US Sri Lanka, maritime exercise, Sri Lanka Navy, US Navy, Indian Ocean security, Trincomalee, Colombo, maritime security, humanitarian assistance, disaster response, P-8A Poseidon, US Coast Guard, SLNS Gajabahu, maritime cooperation, defense partnership, Indo-Pacific

සමුද්‍රීය ආරක්ෂාව සහ කලාපීය සූදානම ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව CARAT 2026 (සහයෝගීතාව, සූදානම සහ පුහුණුව) අභ්‍යාසය ආරම්භ කරයි.

ත්‍රිකුණාමලය, 2026 ජූලි 27: ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව ජූලි 26 දින සහයෝගීතාව, සූදානම සහ පුහුණුව පිළිබඳ (Cooperation Afloat Readiness and Training - CARAT) ඒකාබද්ධ නාවික අභ්‍යාසය සයවන වරටත් ආරම්භ කළහ. මෙම ද්විපාර්ශ්වික සමුද්‍රීය අභ්‍යාසය සමුද්‍රීය ආරක්ෂාව, මානුෂීය ආධාර සැපයීම, ආපදා
ප්‍රතිචාර දැක්වීම සහ වඩාත් ආරක්ෂිත ඉන්දියානු සාගර කලාපයක් සඳහා දෙරටේ නාවික හමුදාවන්ගේ එක්ව ක්‍රියා කිරීමේ හැකියාව ශක්තිමත් කිරීම අරමුණු කර ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජූලි 27 සිට 31 දක්වා ත්‍රිකුණාමලය සහ කොළඹදී සත්කාරකත්වය දරන CARAT Sri Lanka 2026 අභ්‍යාසය සඳහා එක්සත් ජනපද නාවික හමුදාව, එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් එක්වෙති.

සතියක් පුරා පැවැත්වෙන වෙරළාශ්‍රිත සහ මුහුදේ සිදුකරන පුහුණු වැඩසටහන් මගින් සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කරමින්, පොදු අභියෝගවලට එක්ව ප්‍රතිචාර දැක්වීම සඳහා දෙරටේ ආරක්ෂක බලකායන්ගේ හැකියාව වර්ධනය කරනු ඇත. 2017 වසරේ සිට CARAT ශ්‍රී ලංකා අභ්‍යාසය, දිගුකාලීන ඇමරිකා  එක්සත් ජනපද–ශ්‍රී ලංකා ආරක්ෂක හවුල්කාරිත්වයේ පදනම වන විශ්වාසය, අත්දැකීම් සහ මෙහෙයුම් සම්බන්ධීකරණය ගොඩනැගීමට දායක වී ඇත. 

මෙම අභ්‍යාසය ශ්‍රී ලංකාව සමඟ පවතින අපගේ ආරක්ෂක හවුල්කාරිත්වය සඳහා එක්සත් ජනපදයේ දිගුකාලීන කැපවීම පිළිබිඹු කරනවා, යනුවෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී සහ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මැතිව් හවුස් මහතා පැවසීය. අපගේ නාවිකයන් උරෙනුර ගැටී එක්ව පුහුණු වන විට, ඔවුන් අතර විශ්වාසය, අන්තර්ක්‍රියාකාරී හැකියාව සහ වෘත්තීය සබඳතා ගොඩනැඟෙන අතර, එමඟින් වඩාත් වැදගත් අවස්ථාවලදී එක්ව වඩාත් ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට අපට හැකියාව ලැබෙනවා.පසුගිය වසරේ දිට්වා සුළි කුණාටුවට ප්‍රතිචාර දැක්වීමේදී අපි එය සියැසින්ම දුටුවා. වසර ගණනාවක් පුරා සහයෝගීතාවයෙන් ගොඩනඟන ලද සබඳතා හේතුවෙන්, ශ්‍රී ලාංකික ජනතාවට සහාය සැපයීම සඳහා අපගේ හමුදාවන්ට එකිනෙකා සමඟ බාධාවකින් තොරව කටයුතු කිරීමට
හැකි වූවා. යනුවෙන් ලුතිනන් කර්නල් මැතිව් හවුස් මහතා තවදුරටත් පැවසීය. 

මෙම අභ්‍යාසයට එක්සත් ජනපද නාවික හමුදාවේ P-8A පොසෙයිඩන් (Poseidon) සමුද්‍ර මුර සංචාර සහ සෝදිසි ගුවන් යානයක් එක්වන අතර, එය සමුද්‍රීය ක්ෂේත්‍ර පිළිබඳ දැනුවත්භාවය (Maritime Domain Awareness) වර්ධනය කිරීමේ පුහුණුව සහ සම්බන්ධීකරණ මෙහෙයුම් සඳහා සහාය ලබාදෙයි. 

එමඟින් දෙරටේ නාවික හමුදාවන්ට සමුද්‍රීය ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමේ සහ ඉන්දියානු සාගරය පුරා සිදුවන සිදුවීම්වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකි වේ.

එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පවරා දෙන ලද පෙර එක්සත් ජනපද වෙරළාරක්ෂක ඩග්ලස් මුන්රෝ (Douglas Munro) නෞකාව, වර්තමානයේ SLNS ගජබාහු (P626) නෞකාවේදී, එක්සත් ජනපද වෙරළාරක්ෂක සමුද්‍රීය සම්බන්ධතා කණ්ඩායම ද (Maritime Engagement Team - MET) පුහුණුවට එක්වනු ඇත. සමුද්‍රීය මෙහෙයුම් අතරතුර එක්සත් ජනපදය විසින් සපයන ලද Rigid Hull Inflatable - RHIB බෝට්ටුවක්ද භාවිතයට ගැනෙන අතර, එමගින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන සමුද්‍රීය මෙහෙයුම් හැකියාවන් වර්ධනය කිරීම සඳහා එක්සත් ජනපද ආරක්ෂක සහාය දායක වන ආකාරය පිළිබිඹු කෙරේ.

සතිය පුරා එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් සමුද්‍රීය ක්ෂේත්‍ර පිළිබඳ දැනුවත්භාවය, උපායික වෛද්‍ය පුහුණුව (Tactical Medicine), පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීම (Explosive Ordnance Disposal - EOD) සහ නැව් පරීක්ෂා කිරීම, ගොඩවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ (Visit, Board, Search and Seizure - VBSS) මෙහෙයුම් සම්බන්ධයෙන් පන්තිකාමර දැනුම් හුවමාරු සැසි සහ ප්‍රායෝගික පුහුණුව සඳහා සහභාගී වන අතර, අනතුරුව එම කුසලතා මුහුදේදී ඒකාබද්ධව ප්‍රායෝගිකව යොදා ගනු ඇත. හමුදා සාමාජිකයින් අතර පුද්ගලික සබඳතා ශක්තිමත් කරන ප්‍රජා සේවා ව්‍යාපෘති, ක්‍රීඩා වැඩසටහන් සහ සංස්කෘතික හුවමාරු, CARAT ශ්‍රී ලංකා අභ්‍යාසයේ තවත් වැදගත් අංගයකි. අර්බුදයක් ඇතිවීමට පෙර මෙම සබඳතා විශ්වාසය ගොඩනඟන අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවක අපගේ හමුදාවන්ට ඵලදායී ලෙස එක්ව කටයුතු කිරීමට හැකි බව සහතික කිරීමට දායක වේ.

ශ්‍රී ලංකාව ලෝකයේ කාර්යබහුලම සමුද්‍රීය කොරිඩෝවක් ඔස්සේ පිහිටා ඇති බැවින්, අපගේ නාවික හමුදාවන්ට එක්ව ක්‍රියා කිරීමේ හැකියාවට ප්‍රායෝගික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් හිමි වේ. 

CARAT වැඩසටහන හරහා, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව දේශසීමා ඉක්මවා යන තර්ජනවලට එරෙහිව කටයුතු කිරීම, සෙවීම් හා ගලවා ගැනීමේ මෙහෙයුම් පැවැත්වීම, ස්වාභාවික ආපදාවලට ප්‍රතිචාර දැක්වීම සහ ගෝලීය වෙළෙඳාම සඳහා අත්‍යවශ්‍ය ඉන්දියානු සාගරයේ වැදගත් මුහුදු මාර්ග සුරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය හවුල්කාරිත්වයන් සහ ප්‍රායෝගික කුසලතා තවදුරටත් ශක්තිමත් කරයි.