ශ්‍රී ලංකා ITEC ආදි ශිෂ්‍ය සංගමයේ නව විධායක කමිටුව තේරී පත්වෙයි

ඉන්දියානු තාක්ෂණික හා ආර්ථික සහයෝගිතා වැඩසටහනේ (ITEC) ශ්‍රී ලංකා ආදි ශිෂ්‍ය සංගමයේ නව විධායක කමිටුව සහ අංශීය කමිටු සාමාජිකයන් නිල වශයෙන් තෝරා පත් කරගෙන තිබේ. සංගමයේ සභාපතිනිය ලෙස ගායත්‍රි ස්වීන්ද්‍රන් මහත්මිය ද, මහලේකම් ලෙස අනුප් වීරරත්න ද, භාණ්ඩාගාරික ලෙස එස්. රූබදර්ෂන් ද පත් කර ඇත. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ අධ්‍යාපන අංශයේ විශේෂ වැඩපිළිවෙළක් යටතේ පිහිටුවන ලද මෙම සංගමය, ITEC ආදි ශිෂ්‍යයන් එකම වේදිකාවකට ගෙන එමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපනික හා වෘත්තීය සහයෝගිතාව ශක්තිමත් කිරීම අරමුණු කරයි.

ශ්‍රී ලංකා ITEC ආදි ශිෂ්‍ය සංගමයේ නව විධායක කමිටුව තේරී පත්වෙයි

කොළඹ: ඉන්දීය තාක්ෂණික හා ආර්ථික සහයෝගිතා වැඩසටහනේ (ITEC) ශ්‍රී ලංකා ආදි ශිෂ්‍ය සංගමයේ නව විධායක කමිටුව සහ අංශීය කමිටුවල සාමාජිකයන් නිල වශයෙන් තෝරා පත් කරගෙන තිබේ.

සංගමයේ නව සභාපතිනිය ලෙස ගයත්‍රි ස්වීන්ද්‍රන් තේරී පත්ව ඇති අතර, අනුප් වීරරත්න මහලේකම්වරයා ලෙසත්, එස්. රූපදර්ශන් භාණ්ඩාගාරිකවරයා ලෙසත් පත් කර ඇත.

විධායක කමිටුවේ උප සභාපතිවරුන් ලෙස පී.පී. හසිත සඳරුවන් සහ සදාසිවම් ලියෝ නිරෝෂ් දර්ශන් පත් කර තිබේ. විමුක්ති දුෂාන්ත සහකාර ලේකම්වරයා ලෙසත්, අයි. රවිකුමාර් සහකාර භාණ්ඩාගාරිකවරයා ලෙසත් පත් කර ඇත.

මෙම ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවා ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ අධ්‍යාපන අංශයේ විශේෂ වැඩසටහනක් ලෙසය. ITEC වැඩසටහන ඇතුළුව ශ්‍රී ලාංකිකයන් සඳහා ක්‍රියාත්මක වන ඉන්දියාවේ අධ්‍යාපන සහ ශිෂ්‍යත්ව වැඩසටහන් අධීක්ෂණය කරනු ලබන්නේ එම අංශය විසිනි.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් (අධ්‍යාපන) සන්දීප් චෞද්රිගේ නායකත්වය යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේ. ශ්‍රී ලංකාවේ ITEC ආදි ශිෂ්‍යයන් පළමු වරට එකම වේදිකාවක් යටතට ගෙන ඒම සඳහා ඔහුගේ දැක්ම සහ සහයෝගය වැදගත් වී ඇත.

ඉන්දීය රජය විසින් 1964 වසරේදී ආරම්භ කරන ලද ITEC වැඩසටහන, ගෝලීය දකුණේ රටවල් සමඟ ඉන්දියාව පවත්වාගෙන යන සංවර්ධන සහයෝගීතාවයේ ප්‍රධාන අංගයක් බවට පත්ව තිබේ.

ඉන්දීය රජයේ පූර්ණ මූල්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් රාජ්‍ය පරිපාලනය, මූල්‍ය, තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, කෘෂිකර්මාන්තය සහ සෞඛ්‍ය සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසක පුහුණුව ලබා දෙයි. මෙම පාඨමාලා ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ආයතන මගින් පවත්වනු ලැබේ.

දශක හයකට වැඩි කාලයක් පුරා රටවල් 160කට අධික සංඛ්‍යාවක රාජ්‍ය නිලධාරීන් සහ වෘත්තීයවේදීන් මෙම වැඩසටහන යටතේ පුහුණුව ලබා තිබේ.

ITEC වැඩසටහනට ශ්‍රී ලංකාව සක්‍රීයව සහභාගී වන අතර, රාජ්‍ය හා පෞද්ගලික අංශවල දහස් ගණනක් ශ්‍රී ලාංකික නිලධාරීන් සහ වෘත්තීයවේදීන් එමගින් ප්‍රතිලාභ ලබා ඇත.

නව විධායක කමිටුව තෝරා පත් කර ගැනීම ශ්‍රී ලංකාවේ ITEC ආදි ශිෂ්‍යයන් අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමටත්, වෘත්තීය සහයෝගීතාව වර්ධනය කිරීමටත්, දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් වැදගත් පියවරක් ලෙස සැලකේ.