ඉන්දු-ශ්‍රී ලංකා සම්භවයක් සහිත අභිරාමි කලා ශිල්පිනිය සිය ප්‍රථම සංගීත නිර්මාණයවන KAPALI එළිදක්වයි
New York-based Sri Lankan-Indian artist and researcher Abirami has released her debut electronic music project “Kapali”, blending Sanskrit, Tamil, English and modern electronic sounds inspired by Chennai’s Kapaleeshwarar Temple.
2026 අගෝස්තු, කොළඹදී: - නිව්යෝර්ක්හි පදිංචි, ඉන්දු-ශ්‍රී ලංකා සම්භවයක් සහිත අභිරාමි, පසුගියදා සිය KAPALI ඉලෙක්ට්‍රොනික සංගීත නිර්මාණය එළිදැක්වූවාය. චෙන්නායිහි ශ්‍රී කපලීස්වර දේවාලය පාදකකර ගනිමින් එය, සංස්කෘත, ද්‍රවිඩ සහ ඉංග්‍රීසි භාෂා සමගින්, නූතනත්වය සමග මුසුකර නිර්මාණයකර ඇත. දකුණු ආසියාවට ආවේණික සංගීත සම්ප්‍රදාය සමග නූතන ඉලෙක්ට්‍රොනික භාණ්ඩවල හඬ කැටිකොට ගත් එම නිර්මාණය, ඇගේ ශ්‍රී ලාංකික සහ ඉන්දීය පසුබිම මෙන්ම ඩුබායි සහ නිව්යෝර්ක් ජීවිතයෙන් ලද ආභාසය මනාව නිරූපණය කරයි.
KAPALI යනු, අදියර දෙකකින් යුතු සංගීත නිර්මාණයකි. පළමු අදියර තුළ ගීතයට පසුබිම්වන කතාන්දරය සිනමාරූපී ලෙස ඉදිරිපත් කෙරෙන අතර, දෙවන අදියර මගින් එම තේමා, නූතන සංගීතය සමග මුසු කෙරේ.
සිය අත්තම්මා වූ ශාන්තා කන්නයියන්ගේ වියෝවෙන් පසුව 2026 මාර්තු මසදී අභිරාමි, චෙන්නායි වෙත පැමිණි අවස්ථාව මෙම නිර්මාණය සඳහා පාදක වී තිබේ. "KAPALI යනු, බිඳවැටීම සහ ඒ තුළින්ම හට ගන්නා ප්‍රතිසංස්කරණය පිළිබඳ කියාපාන නිර්මාණයකි. මා මෙන්ම මාගේ දෙමාපියන් සහ දෙමාපියන්ගේ දෙමාපියන් ද කුඩා කාලයේ හැදී වැඩුණු පරිසරයට නැවත පැමිණීමෙන්, පරම්පරා ගණනක පටන් එකම මිනිසුන් පිරිසකගේ විවිධ ස්වරූප කෙතරම් ප්‍රමාණයක් මෙම දේවාල භූමිය තුළ සැරිසරන්නට ඇතිද යන්න මා හට සිහිපත් වුණා. එදා සිටි මිනිසුන්, එදා සිටි අප සහ වර්තමානයේ ජීවත්වන අප කවුරුන්ද යන්න පිළිබඳ මා කල්පනා කළා," යනුවෙන් අභිරාමි අදහස් පළ කළාය.
ඇය චෙන්නායි වෙත පැමිණෙන විට තයියර් සැණකෙළිය ද ආරම්භ වී තිබිණ. ගීත සහ නර්තනවලින් මයිලාපූර් වීදි මුසපත්වන අයුරු බලා සිටි ඇයට, පුද්ගලික කම්පාව සහ
සාමූහික සතුට අතර ඇති වෙනස හඳුනාගත හැකි වූ අතර එය, සංගීත නිර්මාණයේ භාවාත්මක පදනමට හේතු විය.
තම පර්යේෂණ අත්දැකීම් උපයෝගීකර ගනිමින් අභිරාමි සිය පුද්ගලික අවබෝධය මෙන්ම නිරීක්ෂණය ද KAPALI සඳහා යොදා ගත්තාය. මානව සංවර්ධනය සම්බන්ධව ඇය සතු දැනුම හේතුවෙන්, පුද්ගලික කම්පාවෙන් ඔබ්බට යමින් මතක, සංස්කෘති සහ අනන්‍යතා ආදිය පරම්පරාවෙන්-පරම්පරාවට පෙරට ගමන් කරනා ආකාරය නිර්මාණ ක්‍රියාවලියට පාදකකර ගැනීමට ඇයට හැකි විය.
ගීත රචනය සහ සජීවී ඉදිරිපත්කිරීම් හරහා ඇගේ කලා ජීවිතය ඩුබායිහිදී මිට දශකයකට ද පෙර ආරම්භ වූ අතර, ඇය විසින්ම නිර්මාණය කරන ලද ප්‍රථම නිර්මාණය ලෙස KAPALI, ඇගේ කලා දිවියේ සුවිශේෂීම හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කරයි. මීට මාස තුනකට පෙර නිර්මාණය කරන ලද KAPALI, අභිරාමි විසින් සිත් රිදීමක්, මතකයක් සහ මුදා හැරීමක් ලෙස කපලීස්වර දේවාලය අත්විඳි ආකාරය පිළිබිඹු කරයි. KAPALI සහ එහි නූතන සංගීත නිෂ්පාදනය දැන් සියලුම ප්‍රමුඛ පෙළේ ස්ට්‍රීමිං මාධ්‍ය තුළින් සවන්දිය හැකිය.
KAPALI වෙනුවෙන් කෞස්තාව් සර්කර් විසින් ඡායාරූපගත කරන ලදි
නිව්යෝර්ක්හි මර්කරි ලවුන්ජ්හිදී ඉදිරිපත් කිරීමක් සිදු කරමින් (2025)
ඩුබායිහි Freshly Ground Sounds හිදී ඉදිරිපත් කිරීමක් සිදු කරමින් (2017)
editor