LGBTIQ+ ප්‍රජාවට අගතියක් නොවන ලෙස මාධ්‍ය වාර්තාකරණය කළ යුතුයි – ඉක්විටි ආයතනයෙන් මාර්ගෝපදේශ
Équité Sri Lanka has stressed the importance of ethical and responsible media reporting on LGBTQI+ issues to prevent discrimination and hate. A media guideline was launched in Colombo to promote accurate, sensitive, and rights-based journalism.
ශ්‍රී ලංකාවේ ජීවත්වෙන සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවිය ,අන්තර් ලිංගික ඇතුළු විවිධ ලිංගික හා සමාජභාවිය අනන්‍යතා දරන (LGBTIQ+) පුද්ගලයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංවිධානය වන ඉක්විටි ආයතනය (Equité ) මෙම මාධ්‍ය නිවේදනය ඉදිරිපත් කරයි.
LGBTIQ+ ප්‍රජාව සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකරණයේදී මාධ්‍ය ආචාර ධර්ම ආරක්ෂා කිරීම සහ වාර්තාකරණයේදී LGBTIQ+ ප්‍රජාවන්ට අගතියක් හෝ, ඔවුන් කෙරෙහි මහජනතාව තුළ අප්‍රසාදයක් ඇති නොවීමට වග බලාගැනීම සම්බන්ධ විධිමත් මාර්ගෝපදේශයක් අද දිනයේදී මාධ්‍ය ආයතන සහ මාධ්‍ය ආයතන නියෝජිතයින් ට ලබා දීම කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී සිදු කරන ලදී.
එමෙන්ම, පසුගිය කාල සීමාවේදී ශ්‍රී ලංකාවේ මාධ්‍ය සහ, සමාජ මාධ්‍ය තුළ LGBTIQ+ ප්‍රජාව නිරුපනය වී ඇති ආකාරය පිළිබඳ ඡායාරූප පොතක් ද එළිදක්වන ලදී.
මෙම උත්සවයේ මුඛ්‍ය දේශනය, කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශ ප්‍රධානි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මනෝජ් ජිනදාස මහතා විසින් පැවැත්වූ අතර, මාධ්‍ය වාර්තාකරණ මුලධර්ම පිළිබඳව ආරාධිත දේශනය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතා විසින් පවත්වන ලදී.
LGBTIQ+ ප්‍රජාව යනු ශ්‍රී ලංකාවේ ආන්තීකරණය ලක් වූ ජන කණ්ඩායමක් වන අතර, අධ්‍යයන වලට අනුව සමස්ත ජනගහනයෙන් 6%-8% ත් අතර ප්‍රමාණයක් නියෝජනය කරනු ලබයි. ඔවුන් සම්බන්ධ නිවැරදි දැනුම නොමැති වීම, ඔවුන් සම්බන්ධයෙන් පවතින වැරදි ආකල්ප, ඔවුන්ට එරෙහිව පවතින නීති මෙන්ම, ඔවුන් සම්බන්ධව මාධ්‍ය වාර්තාකරණයේදී සිදුවන දෝෂ සහ ඔවුන් ගැන අපහාසාත්මකව වාර්තාකරණය නිසා ඔවුන්ව සමස්ත සමාජය තුළ කොන්කොට සැලකීමට හා වෙනස්කොට සැලකීමට භාජනය වේ.
පසුගිය මාස කිහිපය තුළ දේශපාලනික වශයෙන්, ආගමික වශයෙන් මෙන්ම මතවාදීමය වශයෙන්ද ඔවුන්ට එරෙහිව විවිධ ප්‍රහාර එල්ල වූ අතර, යම් යම් පුද්ගලයින්ගේ අතපසුවීම් හෝ නොමනා ක්‍රියාකලාපයන් නිසා ඒවායේ වින්දිතයින් බවට පත්වීමට LGBTIQ+ ප්‍රජාවට සිදුවීම කණගාටුවට කරුණකි.
ශ්‍රී ලංකාවේ ජීවත්වෙන LGBTIQ+ ප්‍රජාව ඉල්ලා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති, අනෙකුත් පුද්ගලයින් භුක්ති විඳින අයිතිවාසිකම් වන අතර, බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවතියදී හඳුන්වා දුන් යල්පැන ගිය නීති සංශෝධනය කර ඔවුන්ට ද, තමාගේ ලිංගික දිශානතියට සහ සමාජභාවිය අනන්‍යතාවට අනුකුලව ජිවත් වීමට ඇති අයිතිය තහවුරු කිරීම පමණි. එමෙන්ම, දේශපාලනික වශයෙන් හෝ, ආගමික වශයෙන් එකිනෙකාට මඩ ගසා ගැනීමට LGBTIQ+ ප්‍රජාව භාවිතා නොකරන ලෙස සියලුම පාර්ශවයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. එවැනි පටු පරමාර්ථ වෙනුවෙන් ඔබගේ මාධ්‍යකරණය යොදා නොගැනීමට නිර්භීත වන ලෙස සියලුම මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිමු.
editor